මීපේ හන්දියේ ඉදිකරමින් පවතින වෙළෙඳ සංකීරණයක් පිටුපස ජල ටැංකියක් බහාලු වළකට වැටී 15 වැනිදා රාත්‍රියේ 71 හැවිරිදි පස් දරු පියකු මියගොස් ඇතැයි  පාදුක්ක පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල අලල්ලාව සිරීටේලර් හි පදිංචි වී සිටි වයි.බි. කරුණාරත්න නමැති පස් දරු පියෙකි. මොහු මීපේ
ජාතික අධ්‍යාපන ආයතනයේ පෞද්ගලික අංශයේ ආරක්ෂකයකු ලෙස සේවය කරමින් සිටිය දී රාත්‍රී කෑම රැගෙන යාමට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී ඔහුට ශාරිරික අවශ්‍යතාවක් සඳහා නගරයේ ඉදි කරමින් යන  පෞද්ගලික වෙළඳ සංකීර්ණයක් පිටුපසට යාමේදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම වළ අඩි 20 ක් පමණ ගැඹුරකින් යුක්ත වන අතර වෙළඳ සංකිරණයේ වැසි ජලය එක්රැස් කිරිම සඳහා විශාල ප්‍රමාණයේ ජල ටැංකියක් වළට බස්සවා වළ ද සිමෙන්තියෙන් සකස්කර ඇතැයි පොලිසිය කළ විමර්ශනවල දී හෙළි වී ඇත. එසේ සකස් කරන ලද විශාල වළෙහි පිටතට ජලය එක්රැස් වීම වළකාලීමට ටකරන් තහඩු දමා ආවරණය කර ඇති බවත් මියගිය අය මෙම ස්ථානයට නුදුරින් පිහිටි දකුණු ආසියා ගුරු පුහුණු ආයතනයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස වසරකට ආසක්ත කාලයක් සේවය කරමින් සිටි අයකු බව පොලිසිය කියයි.

මෙම ස්ථානයේ දහවල් වැඩ කළ සේවකයන් සිට  ඇති අතර සිද්ධිය සිදුවී  ඇත්තේ රාත්‍රි 7.30ට පමණය.
ගොඩනැගිල්ල පිටුපස මහා ටකරන් තහඩු ශබ්දයක් ඇසී අසල සිටි පිරිස වහාම එම ස්ථානයට පැමිණ බලද්දී ඔහු තුවාල සහිතව මියගොස් සිටි බැවින් පොලිස් නිලධාරීන් කැඳවා මූලික පරීක්ෂණවලින් අනතුරුව දේහය පාදුක්ක ප්‍රාදේශීය රෝහල් වෙත යැවීමට කටයුතු කර ඇත.

පසු දින (16) එම ස්ථානයට හදිසි මරණ පරික්ෂක වෛද්‍ය  පන්නිපිටිය මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණ කටයුතුවලට සිදුකිරීමෙන් අනතුරුව පාදුක්ක රෝහලේ දී මූලික විමර්ශන කටයුතු සිදුකොට අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මූලික රෝහලට යැවීමට ක්‍රියා කිරිමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතය. පාදුක්ක පොලිසියේ පොලිස් සැරයන් (19595) එම්.කේ. අමරසිරි මහතා පරික්ෂණ පවත්වයි.

-එච්.එස්.ඒ.නන්දන