යාපනය විද්‍යා දැරියගේ ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර 5කට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් මෙම යතුරු පැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවේ යාපනය කාර්යාල බාරයට ගෙන තිබී ඇති  බවත් පොලිස් නිලධාරින් එම යතුරු පැදියට ව්‍යාජ අංකයක් සවිකර භාවිතා කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි. නිශාන්ත සිල්වා මහතා මෙම ඝාතන පරීක්ෂණ සඳහා කොළඹ සිට යාපනයට පැමිණ සිටියදී එම යතුරු පැදිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ගොස් සිද්ධියට සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවද එම උසස් නිලධාරියා පැවසීය. සැකකරුවකු සතුව තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන්  අධිකරණයට ඉදිරිපත් නොකර පෞද්ගලික පරිහරණයට භාවිතා කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

-ඉන්දිකා රාමනායක-