පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට සංස්කරණය කොට සභාගත කරන බවට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (18 දා) කළ දැනුම්දීමත් සමග ඊට පක්‍ෂව සහ විපක්‍ෂව මන්ත‍්‍රීවරුන් අදහස් දැක්වීමෙන් සභාගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක්
ඇතිවිය.

එම හඬපට සංස්කරණයකින් තොරව සභාගත කරන්නැයි ඇතැම් මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටි අතර ඒවා සභාගත නොකළ යුතු යැයි තවත් මන්ත‍්‍රීවරු පිරිසක් ඉල්ලා සිටියහ.

පක්‍ෂ භේදයකින් තොරව මන්ත‍්‍රීවරුන් හඬපට පරීක්‍ෂා කළ බව කථානායකවරයා සඳහන් කළේය.

විජයදාස රාජපක්‍ෂ මහතා,

බලතල හා වරප‍්‍රසාද පනත මඟින් කතා කිරීමේ නිදහස ලබාදී තිබෙනවා. ඔය හඬපටවල තිබෙන්නේ තව අයකු සමග කතා කළ ඕපාදූප, කුණුහරුප. මේවා සභාගත කිරීමට කටයුතු කළේ කුමන ප‍්‍රතිපාදන අනුවද? මේ හඬපට බෙදාහැරීමෙන් මේ පාර්ලිමේන්තුවට සිදුකරන යහපත කුමක්ද?

කථානායක - මේක පූර්වාදර්ශයක් කරගන්න බෑ. ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ නම් පිරිසිදු කරගත යුතුයි කියලා ඉල්ලීමක් කළා. මේවායේ තිබෙන්නේ ඕපාදූපවලට වඩා කුණුහරුප, අසභ්‍ය වචන.

විජයදාස රාජපක්‍ෂ මහතා,

ඇයි මේ කුණුහරුප බෙදාහරින්නේ? පක්‍ෂ නායකයන් එකඟ වුණත් මෙය පූර්වාදර්ශයක් වෙනවා.

කථානායක - බහුතරය විරුද්ධ නම් මේවා සභාගත නොකර සිටින්න පුළුවන්.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා - පක්‍ෂ නායකයන් මේවා සභාගත කරන්න එකඟ වුණේ නෑ. හැන්සාඞ්ගත වූ හඬපටවල අන්තර්ගතය තුළින් පාර්ලිමේන්තුවට වගේම අනෙක් සෑම පාර්ශ්වයකටම දේශපාලන නායකයන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට වන හානිය ගැන තමයි කතා කළේ.

කිසිම පක්‍ෂ නායකයෙක් එකඟ වුණේ නැහැ මේ හඬපට සභාගත කරන්න.

කථානායක - ඔබතුමාගේ නියෝජිතයකුත් මීට සම්බන්ධ වුණා.

සභානායක - දිනේෂ් ගුණවර්ධන මහතා - පරීක්‍ෂණය කරලා අපේ අදහස කිව්වා මිසක් අපි සභාගත කරන්න කියලා ඉල්ලූවේ නෑ. මේ සභාගත කිරීම ඉවත් කරන්න.

කථානායක - හොඳයි...!

රන්ජන් රාමනායක මහතා - තෝරාගත් දුරකථන සංවාද කිහිපයක් මා සභාගත කළා. හිටපු ජනපති දැන් ඉන්න අගමැති, කැබිනට් ඇමැතිවරුන්, ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන් මට කතාකරපුවා තිබෙනවා.

නිමල් ලාන්සා මහතා - මේවායේ කුණුහරුප තිබෙනවා නම් ඒ මන්ත‍්‍රීවරයා නියෝජනය කරන පක්‍ෂය සහ කථානායකතුමා මේ මන්ත‍්‍රීවරයාට විරුද්ධව ගන්න පියවර කුමක්ද?

අනුර කුමාර දිසානායක මහතා - කිසිදු සංස්කරණය කිරීමකින් තොරව මේ හඬපට මන්ත‍්‍රීවරුන්ට ලබාදිය යුතුයි කියලා අපි කියනවා.

කථානායක - දැන් මේ ගැන මත දෙකක් තිබෙනවා.

බිමල් රත්නායක මහතා - රන්ජන් මේවා සභාගත කළා. එක් අතකින් රටේ සමාජ පැතිකඩක් හෙළිවෙනවා. මේවා සැඟවීම වැරදි පූර්වාදර්ශයක්.

කථානායක - මම යළි පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කරන්නම්.

රන්ජන් රාමනායක මහතා - මම කළේ හොරු අල්ලන්න ගිය එක. අද මම ඉන්නේ, උදයංග වීරතුංග සහ එයාර් ලංකා එකේ කපිල චන්ද්‍රසේන රඳවා සිටින මැදිරි දෙක මැද්දේයි. මට මේවා කියන්න කවුරුවත් නෑ. පාර්ලිමේන්තුවේදී විතරයි මේවා කියන්න පුළුවන්. මා ළඟ සියලූ සාක්‍ෂි තිබෙනවා. රෙකෝඩින් තිබෙනවා. මම ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වුණු ෆවුසි මහත්තයාවත් පැයකට හරි හිරේ දාන්න කිව්වා. මට නාමල් මන්ත‍්‍රීතුමා කිව්වේ හොරු අල්ලන ඇමැති කියලා. ඒ දේ කරන්න තමයි අපි බලයට ආවේ. නාමල්ගේ හඬපටත් මා ළඟ තිබෙනවා. වත්මන් අගමැතිතුමාගේ හඬපටත් තිබෙනවා. එතුමා තමයි මට එදා රෙකෝඞ් කරන්න කිව්වේ. මම හොරකම් කරලා නෑ. මම ඉන්නේ හිඟන්නෙක් වගේ.

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා