පවතින වියළි කාලගුණ තත්ත්වය
හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හතරත්, හයත් අතර ප‍්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේ නොමැති වුවහොත් විජලනයට ලවක්වී වකුගඩුවලට බලපෑම් එල්ලවිය හැකි බවත්, උදෑසන 10.00 සවස 3.00ත් අතර කාලයේ හැකිතාක් හිරු එළියට නිරාවරණය නොවී සිටිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

හිරු රශ්මිය පවතින වෙලාවේදී ගමන්බිමන් යෑමේදී කුඩයක් හෝ කැප් තොප්පියක් භාවිත කරන ලෙසත්, ක්‍රීඩා පිටිවල සිටින පිරිස් කැප් තොප්පියක් හා සැහැල්ලු අත්දිග ඇඳුමක් භාවිත කරන ලෙසත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරවල සමට පවා බලපෑම් එල්ල කරන බැවින් සියලුම දෙනාම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, තැඹිලි පානය කිරීමෙන් හා වැටකොලු, පිපිඤ්ඤා, කැකිරි, ලබු වැනි දිය එළවළු භාවිත කිරීම හරහා ශරීර සෞඛ්‍යය යහපත් ලෙස පවත්වාන්ගෙන යා හැකි බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේය.

කුඩා දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් සිට අවශ්‍ය තරම් ජලය භාවිත කිරීමට ඔවුනට දිය යුතු බවත්, කාන්තා පිරිමි භේදයකින් තොරව කුඩයක් භාවිත කිරීම හරහා තද අවු රශ්මියෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලුවලින් ආරක්ෂා වී සිටීමට හැකිවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-ඉන්දික හේවාවිතාරණ-