විවිධ ආයතනවලට ගෙවිය යුතු රුපියල් බිලියන 120ක මුදලක් නොගෙවන ලෙස පසුගිය ආණ්ඩුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
පවසා සිටියේ ඊයේ (05දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“පසුගිය සඳුදා (03දා) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකළා. මේකට හේතුව ලෙස කියලා තිබුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදුන් නිසා විදුලි කප්පාදුව සිදුවුණා කියලා. මේ විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්. මේ
පිළිබඳ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පරික්ෂණයක් පවත්වන්න කමිටුවක් පත් කළා. ඉන්ධන නෑ කියලා විදුලිය කපන අවස්ථාවේ

කෙරවලපිටිය බලාගාරයේ තෙල් ටොන් 1,500ක් තිබිලා තියෙනවා. ඉන්ධන තිබියදී අමාත්‍යාංශයේ අවසරයකින් තොරව විදුලිය කප්පාදුවක් වෙන්න බෑ.

මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියලා අපි සොයා බලනවා. විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුදල් නොගෙවා තිබුණද, ඛනිජ තෙල් සංස්ථාව නියමිත වෙලාවට ඉන්ධන ලබාදීලා තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒක අමාත්‍යාංශයක් යටත්තේ තිබියදී කිසිසේත් ඉන්ධන ලබානොදී ඉන්නේ නෑ. ඇමතිතුමත් ජනාධිපතිතුමත් උපදෙස් ලබාදීලා තියෙනවා කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් කරන්න එපා කියලා.

විශේෂයෙන් මෙවැනි තත්වයකට යන හේතු වූ කාරණා පිළිබඳ සොයාබැලීමේදී පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ලංකා  විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු කිසිම  මුදලක් ගෙවලා නෑ. ඒ කියන්නේ බැංකුවලින් ලබාගත් ණය මුදල් ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගන්න ඉන්ධන සහ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබාගන්නා මුදල්. වසර එකහමාරක් තුළ ලබාගන්නා ලද බිලියන 120ක මුදල් ගෙවන්නෙපා කියලා උපදෙස් ලබාදීලා තියෙනවා. විදුලිබල මණ්ඩලය මේ වනවිට විශාල මූල්‍ය

අර්බුදයකට මුහුණපාලා තියෙනවා.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයට අපේක්‍ෂකත්වය ලබාදීලා තිබියදීත් එතුමා අඬ අඬා තමයි තරග කළේ. මට බලය නෑ කියලා. එතුමා පාර්ලිමේන්තු මැතිවරණයට එළි දැඩි ස්ථාවරයක හිටියා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ලබාදුන්නේ නැත්නම් එතුමා කිසිසේත් අගමැති තනතුරට තරග කරන්නේ නෑ කියලා. ඒත් දැන් එතුමාගේ තීරණේ වෙනස් වෙලා තියෙනවා. එතුමා සන්ධානේ නායකයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා. එක්සත් ජාතික පක්‍ෂයේ අද වනවිට සජිත් ප්‍රේමදාස මහත්තයගේ, රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කියලා කණ්ඩායම් දෙකක් තියෙනවා.

අලියා ලකුණ එක්සත් ජාතික පක්‍ෂයේ තියාගන්න ඕන කියනවා. සජිත්ටත් අලියා ලකුණ ඕන කියනවා. එතකොට අලියා දෙකට කපලා දෙන්න වෙනවා. මොකද පක්‍ෂයේ ලකුණ එක් කෙනාටයි තියාගන්න පුළුවන්. එක්සත් ජාතික පක්‍ෂය මේ වනවිට ලාංඡනය පිළිබඳ ලොකු අර්බුදයකට මුහුණදීලා තියෙනවා. ඔවුන්ගේ මේ ගැටුම බරපතළ අර්බුදයකට යනවා” යනුවෙන් පවසා සිටියේය.

-ෂවින්ද්‍යා එරන්දතී-