කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවිකාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍යවරුන් පවසනවා.
වෛරසය වැළඳුනු බවට ඇති වූ සැකය මත අදාළ සේවිකාව IDH රෝහලට
ඇතුළත් කෙරුණු බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එහෙත්, එම සේවිකාවට කිසිඳු රෝගයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහලෙන් මුදා හැර තිබෙනවා.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවිකාවකට නව කොරෝනා වෛරසය වැළඳ ඇති බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි වෛද්‍යවරුන් පවසනවා.

ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම අදහස් දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය මේ තරම් පහත් තත්ත්වයකට වැටීම ගැන කණගාටුදායක බවද පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සැලකීමේදී නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කර ගත යුතු තත්ත්වයක් මේ දක්වා වාර්තා වී නොමැති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් 15 දෙනෙකු තවදුරටත් ප‍්‍රතිකාර ලබන බවයි.