හිටපු පොලිස්පතිවරයා නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තවත් දින කිහිපයකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේස්ත මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ
අන්තර්ජාතික සංවිධානය පවසයි. මෙම සංවිධානය ශ්‍රී ලංකා පොලීසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් විදේශගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම්ලත් සංවිධානයක් වන අතර, මහා බ්‍රිතාන්‍ය මුලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය,
ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි  කැඳවුම්කරු හිටපු පොලිස් පරික්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය  ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වගකිව යුතු බව පවසමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවයි.

එය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා, මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රටවල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කළද ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද සඳහන් කළේය. එසේ හෙයින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතෙන් අවශ්‍ය ලියකියවිලි කිහිපයක් ලද වහාම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු පවරන බවත්, හිටපු ජනාධිපතිවරයාට මේ වනවිට ජනාධිපති මුක්තිය මේ වනවිට නොමැති බැවින් එසේ සිදු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාතික සංවිධානය පවසා සිටියි.

-ෂෙන් සෙනවිරත්න-