රූමත් තරුණියක ලෙස මුහුණු පොතේ පෙනී සිටිමින් පාසල් සිසුන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ ලබාගත් බව කියන 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය පවසයි.
මෙම සැකකරුට මේ කාර්ය කරගෙන යාමට ආධාර අනුබල දුන් බව කියන රත්නපුර රක්වාන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන 30 හැවිරිදි තරුණයකුද සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (09) පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කොළඹ
ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කරන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වසර 03 ක පමණ කාලයක ප්‍රධාන සැකකරු (තොරතුරු තාක්ෂණ ශිල්පියා) මේ ආකාරයට මෙය කරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි රහස් පොලීසිය කියයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පාසල් ගණනාවක ඉගෙනුම  ලබන පාසල් සිසුන් 50 කගේ පමණ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ ප්‍රධාන සැකකරුගේ නවීන පන්නයේ ජංගම දුරකතනයේ තිබියදී සොයාගත් බවද රහස් පොලීසිය පවසයි.

මුහුණු පොතෙන් මීට කාලයකට ඉහතදී හඳුනාගත් තරුණියක් මීට සති කිහිපයක පමණ සිට තමන්ගේ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝපට ඉල්ලාගත් බවට කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු ඔහුගේ මව සමග පැමිණ රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත. නිරුවත් ඡායාරුප හා නිරුවත් වීඩියෝ  දර්ශන ඉල්ලා ඇය නිතර තමන්ට කරදර කරන බවත් ඒ ලබා නොදුනොත් මීට කලින් දුන් ඒවා අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධියට පත්කරන බවත් තරුණිය තර්ජනය කරන බවත් පාසල් සිසුවා පැමිණිලි කළ බව රහස් පොලිසිය කියයි.

මේ නිසා තමාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමටද ඉමහත් බාධාවක් වී තිබෙන  බවත් පැමිණිලිකාර සිසුවා රහස් පොලිසියට පවසා ඇති බව පැවසේ. රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ කරන ලද සියුම් පරීකෂණ අනුව මුහුණු පොත ඔස්සේ තරුණියක් ලෙස පෙනීසිටිමින් පාසල් සිසුන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ දර්ශන ගෙන්වාගෙන ඇත්තේ තරුණයකු බවත් ඔහු තොරතුරු තාක්ෂණ ශිල්පියෙක් බවත් හෙළිකරගෙන ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් පසුව ඔහුට ආධාර අනුබල දුන් බව කියන බැංකු නිලධාරියාද සැකපිට අත්අඩංගුවටගත් බව ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් නිලධාරියා පැවසීය.

අත්අඩංගුවටගත් බැංකු නිලධාරියා කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන  වකවානුවේ ඔහුව බියටපත් කර ප්‍රධාන සැකකරු ඔහුගේ (බැංකු නිලධාරියාගේ), නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ දර්ශන ගෙන්වාගෙන ඇති බවට තොරතුරු අනාවරණය විණි යැයිද රහස් පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් කීය. මුහුණු පොත (ෆේස් බුක්) යොදාගෙන මෙවැනි ක්‍රියාකරන අය සිටින නිසා මුහුණු පොත පරිශීලනය කිරීමේදී වඩාත් පරස්සම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා තරුණ තරුණියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-