යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි තාක්ෂණික පීඨයේ නවක සිසුවියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පිරීමි සිසුන් කණ්ඩායමක් නව තාක්ෂණය ඔස්සේ නිරුවත නැරඹීමේ උපායක් ලෙස
නවකවදය දීමේ සිද්ධියක් වාර්තා වෙයි.

නවකවදය ලෙස විශ්වවිද්‍යාලයේ සිසුවියන්ගේ නිරුවත නැරඹීමට අවශ්‍ය බව දක්වා ඇති මෙම ජ්‍යෙෂ්ඨයින් ඊට සිසුවියන් අකමැත්ත පළ කළ අවස්ථාවේ අපි කරදර කරන් නෑ අපට පෙන්නන්න විතරයි ඕනෙ කියා දන්වා ඇති අතර එම පෙන්වීමේ ක්‍රමය ලෙස සිසුවියන් පිරිසට ඔවුනගේ නේවාසිකාගාරවල නානකාමර වෙත ගොස් වට්ස් ඇප් ඔස්සේ වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසත් ඒ ආකාරයට නිරුවත පෙන්වන ලෙසත් ඔවුන් දන්වා ඇත.

මෙම දැන්වීම සිදු කර ඇත්තේ තර්ජනාත්මක ස්වරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමිනි.නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම ලබා නොගතහොත් නැවත විශ්වවිද්‍යාලය වෙත පැමිණීමේ දී නවක වදය ලෙස වෙනත් ආකාරයේ දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
නවකවද සිද්ධියට මුහුණදුන් සිසුවියන් පිරිස විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට පැමිණිලි කිරිමෙන් අනතුරුව මේ ගැන බලධාරීන් දැනුවත්වී ඇති අතර ඒ අනුව එම බලපෑම සිදු කර තිබෙන සිසුන් සම්බන්දයෙන් මෙම පරික්ෂණය ආරම්භ කළ බව පාලනාධිකාරිය සඳහන් කළේය.
සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ කණ්ඩායමට එරෙහිව අවශ්‍ය විනය පියවර ගන්නට අදහස් කර තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත දැනුම් දී තිබේ.

(මඩුකන්ද සිතුම් චතුරංග)