නාධිපති ගෝඨාභය රාක්‍ෂ මහතා මාධ්‍යවලට සම්පුර්ණ නිදහස තිබෙන බව පැවසුවත්, ක්‍රිකට් ආයතනය ගැන හෙළිදරව් කරන පුවත්පත් මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ආයතනය තහනම් කර තිබෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා පැවසීය. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (O6දා) පැවැති මාධ්‍ය හමුවකදී
රණතුංග මහතා මේ බව පවසා සිටි අතර, එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපතිතුමා ක්‍රිකට් ආයතනය පිරිසිදු කිරීම සිය පළමු රාජකාරිය කරගත යුතු බවත්ය.  මෙම මාධ්‍ය සාකච්ඡාවේදී රණතුංග මහතා දැක්වූ අදහස් කරුණු ලෙස වැඩිදුරටත් පහතින් දැක්වෙයි.

මාධ්‍ය නිදහස
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා (නිදහස් දින) සිදුකළ කතාවේ එතුමා  කියනවා මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා, ඕනම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදී තිබෙනවා කියලා. ඒක ජනාධිපතිතුමාගේ හොඳ තීරණයක්. නමුත් ක්‍රිකට් ආයතනයේ වැරදි ගැන කිව්වා කියලා 'අද' පුවත්පතේ පැතුම් විජේරන්න කියන මාධ්‍යවේදියාට ක්‍රිකට් ආයතනයට එන එක තහනම් කරලා තිබෙනවා. ජනාධිපතිතුමා එදින කිව්වේ මාධ්‍යවලට සියලුම පහසුකම් ලබාදෙනවා කියලා. එහෙනම් ජනාධිපතිතුමාටත් වඩා උඩින්ද  ක්‍රිකට් බෝඩ් එක ඉන්නේ? අපි දැක්කා ජනාධිපතිතුමා එක් එක් ආයතනවලට යනවා.

නමුත් ක්‍රිකට් බෝඩ් එකේ තමයි ලොකුම හොරු ටික ඉන්නේ. මම හිතන්නේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමා යන්න ඕන ක්‍රිකට් බෝඩ් එකට. ජනාධිපතිතුමා අපටත් එන්න කියනවා නම්, අපිත් එන්නම්. ඔක්කොම හොරු ටිකත් පෙන්වන්නම්. ඒ නිසා ජනාධිපතිතුමා මුලින්ම ඇමැතිතුමාත්  එක්ක ක්‍රිකට් බෝඩ් එක සුද්ද කරන මූලිකත්වය ගත්තොත් හොඳයි” යැයි පැවසීය.

තරග පාවාදීමට දැඩි නීති
"හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා (හරින් ප්‍රනාන්දු) එක්ක පාර්ලිමේන්තුව හරහා අපි විශාල වැඩ කොටසක් කරගෙන ගියා තරග පාවාදීම්, සුදූවට සම්බන්ධ අයව ක්‍රීඩාවෙන් ඉවත් කරන්න. පනත් ගෙනල්ලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ තිබෙන දූෂණ හොයන්න කෝප් එක හරහා ලබාගත් වෝහාරීක වාර්තාවේ හඳුනාගත් කරුණු කිහිපයක් තිබෙනවා. ඒවත් එක්ක මට මතකයි අන්තිම දවසෙ අපි මේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කරනකොට, අපි ආණ්ඩුවේ හිටියත් විපක්‍ෂයේ හිටපු හිටපු මන්ත්‍රීවරයෙක් ඝන පූර්ණය නැහැ කියලා ඒකට විරුද්ධ වුණා.

ඒ වගේම වෝහාරිකා වාර්තාව පාර්ලිමේන්තුවට එන්නේ විශේෂ වාර්තාවක් ලෙස. මෙම වාර්තාවේ ගොඩක් දේවල් යට ගහලා තිබෙනවා. ඉදිරියේදී ඒ ගැන  කෝප් කමිටුව හරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වෝහාරික වාර්තාවේ උඩින් පෙන්වන දේවල්, යටින්  හරියට සඳහන් කරලා නැහැ. මෙම වාර්තාවේ හැටියට ක්‍රිකට් කැම්පස් එකක් හදන්න කියලා මුදල් වියදම් කරලා තිබෙනවා. නමුත් ඉඩම් ටික හරියට පවරාගෙන නැහැ. චෙක්පත් ලබා දී තිබෙනවා එක එක අයට. මේ සියලුම දේවල් වෝහාරික වාර්තාවේ තිබෙනවා. ඒ කාලයේ අපේ ආණ්ඩුව තිබුණට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පක්‍ෂ දෙකක හිටපු නිසා අපට හරි දේවල් කරගන්න බැරි වුණා. ප්‍රධාන වශයෙන් මේවට සම්බන්ධ පුද්ගලයෝ ගොඩක් වෙලාවට දේශපාලන නායකයෝ අල්ලනවා.

හොරු, දූෂිතයෝ, කැසිනෝකාරයෝ, බුකීකාරයෝ මේ සියලුදෙනා කරන්නේ දේශපාලන නායකත්වය අල්ලගන්න එක. ලැජ්ජා නැතිව කියන්න ඕන, ඒක අපේ කාලයේත්තේ සිද්ධ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහත්තයාව ගේන්න මූලික වුණ කෙනෙක් මම. නමුත් අවසාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වුණෙත් එතුමාගේ කාලයේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයන්ව ළඟට අරගෙන, ක්‍රිකට් විනාශ කළා. එතුමාට කවදාවත් ඒ පවෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.

'හතුරුසිංහ' බඳවා ගැනීමේ ඒකාධිපති තීරණයක්
හතුරුසිංහ මහතා බඳවාගත් ක්‍රමවේදය හරියට කරලා නැහැ. තමන්ට ඕන විදියට තමයි ඔහුව බඳවාගෙන තිබෙන්නේ. හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයේ වන්දියක් ඉල්ලා තිබෙනවා එයාට කරපු අසාධාරණය වෙනුවෙන්. නමුත් මම හිතනවා මේ මුදල් ක්‍රිකට් පරිපාලනයෙන් ගෙවන්න ඕන නැහැ, මේවට සම්බන්ධ ඒකාධිපතියෝ වගේ තීරණ ගත් මිනිසුන්ගෙන් අයකරගත යුතුයි. මේවට ක්‍රිකට් ආයතනය හෝ රජය ගෙවන්න අවශ්‍ය නැහැ. ක්‍රිකට් ආයතනයේ දැනට නඩු 40ක් විතර තිබෙනවා. එහි නීතිඥ ගාස්තු විශාල ප්‍රමාණයක් ගෙවනවා. හතුරුසිංහ මහතාගේ නඩුව කතා කරන ක්‍රිකට් ආයතනයේ නීතීඥ මහතාටත් විශාල මුදල් ගෙවනවා. ක්‍රිකට් බෝඩ් එකෙන් ගොඩක් පෝසත් වෙන්නේ ඒ නීතිඥ මහත්වරුන්.

ක්‍රිකට් විකාශන අයිතිය ලබාදීම
දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතියේ විශාල මුදල් ප්‍රමාණයක් ඇමරිකානු ගිණුමකට යනවා. ඒක ගිණුම් වාර්තාවේ තිබෙනවා. නමුත් තවත් ඩොලර් ඉහළ වටිනාකමක් වෙනත් ගිණුමකට යන ගිය එක මාධ්‍ය පෙන්වා දුන් නිසා නැවතුනා. ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා මේක 'සයිබර් ඇටෑක්' එකක්, කවුරුහරි උත්සාහ කරන්න ඇති කියලා. නමුත් මේක නොමග යැවීමක්. මයික්‍රොසොෆ්ට් සමාගම කියනවා මේක හැක්වෙලා නැහැ කියලා. ඒ කාරණයම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් පද්ධතියේ මෙරට තිබෙන සමාගමත් කියනවා. මේ හැකලා ඉන්නේ වෙන කොහේවත් නෙමෙයි. ක්‍රිකට් බෝඩ් එකේමයි.

අපි හොරු අල්ලන්න ඉස්සර වෙලා, හොරු නායකයෝ අල්ලගන්නවා. අපි ඉන්න කාලයේ ඉන්දියාවෙන් එංගලන්තයෙන් උපදෙස් ගත්තා විකාශන අයිතිය ලබාදෙන්න ඕන කොහොමද කියලා. ඒ වාගේ හොරකම් කරන්න බැහැ, කාටවත් කොමිස් යන්නේ නැහැ.

විස්සයි20 ලෝක කුසලානය.
ඉදිරියේදී අපට විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තිබෙනවා. ඒ තරගාවලියේදී අපි කොහේ නතරවෙයිද දන්නේ නැහැ. මේ යන විදිහට ඊළඟ ලෝක කුසලානයට සැලැසුමක් තිබෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. අද දේශීය ක්‍රිකට් තරගාවලි කරන්නේ ක්‍රීඩා සමාජයක ඉන්න ලේකම් කෙනෙක්.

CCTV කැමරා දන්ත මකා දැමීම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබෙනවා CCTV කැමරා 32ක්. නමුත් එහි දවස් හයක දත්ත මකලා තිබෙනවා. මේක ගැන හොයලා බලන්න කියලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා තිබෙනවා. හැබැයි වත්මන් සභාපතිවරයා කියන්නේ ඒ දත්ත වැරැදිලා 'ටච් වෙලා" මැකිලා කියල. පරීක්‍ෂණයක් කරන්න අවශ්‍ය නැහැ කියලා ඔහු කියනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක පැත්ත බලන්නේ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා. එතුමා මානුෂීය මෙහෙයුමේ හිටපු කෙනෙක්. හැබැයි එතුමාට මානුෂීය මෙහෙයුමට වඩා අමාරුයි ක්‍රිකට් බෝඩ් එක ක්ලීන් කරන වැඩේ. එතුමාටත් දැනටම තේරීලා ඇති. ඒ නිසා ඔහුගෙනුත් ඉල්ලන්නේ කරුණාකරලා මේ දේවල් කරන්න දෙන්න එපා කියල. මේ දත්ත මැකුවත්, නැවත ගන්න පුළුවන්. ඒවා නැවත අරන් බලන්න පුළුවන්. ඒ වගේම ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න හැමෝම හොරු නෙමෙයි. හොරකමට විරුද්ධ, ක්‍රිකට්වලට ආදරය කරන ක්‍රිකට් හදන්න කට්ටියකුත් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නවා.

රන්ජන්ගේ හඩපට
අපට ආරංචියක් තිබෙනවා ක්‍රිකට් පාවාදීම් ගැනත් හඩපට වගයක් අපේ රන්ජන් හිටපු ඇමැතිතුමා ළඟ තිබෙනවා කියලා. ඔහු ළඟ තිබෙනවාලු ක්‍රිකට් තරග පාවාදීම් හා ඒ අදාළ දේවල්. අපි ඉල්ලීමක් කරනවා හිටපු අමාත්‍ය රන්ජන් මහතාට පුළුවන් නම් ඒ ටිකත් එළියට දාන්න කියල. මොකද අපටත් අවශ්‍ය මේ ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කරන්න.

19න් පහළ කණ්ඩායමේ පහළ වැටීම.
ක්‍රිකට් පරිපාලනය පාසල් ක්‍රිකට් පද්ධතියට මුදල් වියදම් කරන එක නැවැත්තුවා. මොකද එතන ඡන්ද දෙකයින්නේ තියෙන්නේ. ඊට වඩා ලාබයි ක්ලබ් එකක ඉන්න මිනිස්සු දෙනෙක් විතර අල්ලලා සන්තෝසමක් දෙන එක. එතකොට  ඒ ඡන්ද ටික ලැබෙනවා. මම ගෙදරට වඩා හිටියේ මගේ ක්‍රීඩා සමාජයේ. ඒත් මටත්  ඡන්දෙ දුන්නේ නැහැ. මම දකින්නේ පාසල් ක්‍රිකට් පද්ධතිය අද දරුණු විදියට පහළට වැටිලා. හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එක්ක සැලැසුමක් හැදුවා අපේ පාසල් ක්‍රිකට් දියුණු කරන්න. මමත් ඒකට වක්‍රව සම්බන්ධ වුණා.

මේ දිනවල පැවැත්වෙන 19න් පහළ  ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා හෙට අනිද්දා ජාතික කණ්ඩායම නියෝජනය කරන පුළුවන්. ඒ වගේම ඉන්දියාවෙත්. ලංකාවේ අද පාසල් 500ක විතර ක්‍රිකට් ක්‍රීඩා කරනවා. නමුත් අද ඒවා දිහා බලන්නේ නැහැ. දරුවෝ ඉන්නවා. සපත්තු  දෙකක් ගන්න සල්ලි නැහැ. හැබැයි මේ අය අස්වෙලා යන නෝනලාට ලැප්ටොප් එකත් දෙනවා. අද කොළඹ පාසල් පවා බොහොම අමාරුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ඒ නිසා අපි පාසල් පද්ධතිය හැදුවේ නැත්නම් කවදාවත් අපේ ක්‍රිකට්  හදන්න බැහැ.

දෙවසරක අතුරුපාලක කටුවක්
මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොඳ මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ. අපිට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කරන්න වෙලා තිබෙනවා. නමුත් අපි 1975දි ලෝක කුසලානය ගැහුවෙත් සුදුසුකම් ලැබීමේ වටයෙන් නෙමෙයි. ඒත් අද අපි ඒ තත්වයට වැටිලා ඉන්නේ. ඒ නිසා එතනින් එහාට පරිපාලනය ගැන කතාකරලා වැඩක් නැහැ.

-සංජීව ධර්මසේන-