හිසට පහර දී මරා දමනු ලැබූ වාලච්චේන පොලිසියේ සැරයන්වරයකුගේ  සිරුර වව්නතිව් පොලිස් කොට්ඨාසයේ මඩකළපුව-අයිත්තමලේ පාර අයිනේ තිබී ඊයේ (06) උදේ සොයා ගත් බව වනතිව් පොලිසිය කියයි. මෙසේ ඝාතනය කරනු ලැබ සිටියේ වාලවේන පොලිසියේ රාජකාරි කළ තම්බපිල්ලෙයි ශිවරාසා නමැති
57 හැවිරිදි සැරයන්වරයෙකි. ඔහු තිදරු පියෙක් විය.පොලිස් සැරයන්වරයාගේ සිරුර වැටි තිබූ ස්ථානයේ ලේ තැවරුණු පොල්ලක් සහ කළු ගලක් ද තිබු අතර, එම  පොල්ලෙන් සහ කළු ගලෙන් හිසට පහර දී ඔහු මරා දමා ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය පවසයි.

මළසිරුර වැටී තිබූ ස්ථානයට නුදුරින් බිම වැටී තිබූ ජංගම දුරකතනයක් ද පොලිසියට හමුවී ඇති අතර, එය සැරයන්වරයාට අයිති එකක් නොවන බව පරික්ෂණවල දී හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි. මඩකළපුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටි පොලිස් නිල සුනඛ "මැක්ස්" අපරාධය සිදුවූ ස්ථානයට ගෙනැවිත් එම ජංගම දුරකතනය ඉව කරවා  ඇති අතර, ඉන් පසුව පොලිස් නිල සුනඛයා වෙල්යායක් මැදින් ගොස් නැවත ප්‍රධාන මාර්ගයට පැමිණ ඇතැයි වවුනතිව් පොලිසිය කියයි.

මියගිය පොලිස් සැරයන්වරයා වාලච්චේන පොලිසියෙන් රාජකාරි නිමවා පෙරේදා (5) සවස 6.00 පමණ මඩකළපුව නිමලතිව් පාරේ ප්‍රදානගර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඇති බව පරික්ෂණවල දී හෙළිවී ඇත. පොලිස් සැරයන්වරයාට අයිති ඉඩමක් ඔහුගේ සිරුර හමුවූ ස්ථානයට නුදුරින් පිහිටා  ඇති අතර, එහි කිරි ගව පට්ටියක් ද තිබෙන බව පොලිසිය කියයි.පොලිස් සැරයන්වරයා පෙරේදා රාත්‍රියේ  යතුරු පැදියකින් එම ඉඩමේ පිහිටි නිවෙසට පැමිණ ඇති අතර, ඔහු එහිදී ඝාතනයට ලක්වී ඇති බව පොලිසිය කියයි.

බස් රථයක් බලාපොරොත්තුවෙන් ඊයේ උදේ මඩකළපුව අයිත්තිමලේ ප්‍රධාන මාර්ගයට පැමිණි කීපදෙනකු ලේ ගලන තුවාල සහිතව පාර අයිනේ වැටී සිටි පුද්ගලයකු දැක ඒ පිළිබඳව වව්නතිව් පොලිසියට දැනුම් දී ඇත. වව්නතිව් පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් ලේ ගලන තුවාල සහිතව වැටී සිටි පුද්ගලයාගේ සිරුර  සොයාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දි ඔහු පොලිස් සැරයන්වරයකු බවට තොරතුරු අනාවරණය වී ඇත. මියගිය පොලිස් සැරයන්වරයා 5 වැනිදා රාත්‍රී 11.00ට පමණ බිරිඳට ජංගම දුරකතනයෙන් කතා කර නිවසට පැමිණෙන බව දැනුම් දී ඇති බවට කියයි.

පොලිස් සැරයන්වරයා මෙසේ ඝාතනය කළේ කුමන හේතුවක් නිසා දැයි යන්න තවමත් අබිරහසක් බවත් පොලිසිය කියයි.  සැරයන්වරයාගේ යතුරුපැදිය හා ඔහුගේ ජංගම දුරකතනය ඔහුගේ ඉඩමේ පිහිටි නිවසේ ආලින්දයේ තිබි පොලිසියට හමුවී ඇත.  සැරයන්වරයා මෙම නිවසේ සිටිය දී කිසියම්  පුද්ගලයකු හෝ කිහිප දෙනකු ඔහුට කතා කර ප්‍රධාන මාර්ගයට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහු ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරයි.

පොලිස් සැරයන්වරයාට අයත් ඉඩම හා ගව පට්ටිය රැකබලා ගත් වත්තේ මුරකරු ලෙස සේවය කළ පුද්ගලයකු මීට සති කිහිපයකටම ඉහත දී සැරයන්වරයා විසින් ඉවත් කර තිබෙන බවට තොරතුරු හෙළිවී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. මුරකරු සේවයෙන් ඉවත් කිරීම සැරයන්වරයාගේ ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර, මේ සම්බන්ධයෙන් මුරකරුගෙන් දිගටම ප්‍රශ්න කරගෙන යන බව ද එම නිලධාරියා කීය.

මිය සිය සැරයන්වරයාගේ එක් පුතකු වන නගුලේෂ්වරම් මහතා පොලිස්  කොස්තාපල්වරයකු ලෙස මඩකළපුව මහ  රෝහලේ රෝහල් පොලිසියේ රාජකාරි කරන බව පොලිසිය කියයි. පොලිස් සැරයන්වරයාගේ සිරුර අසල වැටී තිබියදී සොයාගත් ජංගම දුරකතනයේ අංක ඔස්සේ පරික්ෂණ පවත්වන බව ද පොලිසිය  පවසයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-