ග්‍රාම නිලධාරින් විසින් නිකුත් කරනු ලබන පදිංචි  සහතික සුහ චරිත සහතිකවලට ප්‍රාදේශීය
ලේකම්වරයාගේ අනු අත්සන යෙදීමේ අවශ්‍යතාව ඉවත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය ලබන 10 වැනිදා සිට වලංගු වේ. මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරිමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිහතාගේ සංකල්පය මත ගෙන
ඇති මෙම පියවර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක  බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් පැවැති ක්‍රමය අනුව ග්‍රාම නිලධාරිවරයකු විසින් නිකුත් කරනු ලබන චරිත සහතිකයක් හෝ පදිංචි සහතිකයක් වලංගු විමට නම් ඊට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන යෙදිය යුතුව තිබිණි. නව චක්‍රලේඛය මඟින් එම ක්‍රමය අහෝසි කරනු ලැබ ඇත.  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරින්ට පදිංචි සහතික පොත් සහ චරිත සහතික පොත් නිකුත්  කළ යුත්තේ එම පොත්වල සෑම සහතිකයක්ම ග්‍රාම නිලධාරි කොට්ඨාසය දැක්වෙන මුද්‍රාව තැබීමෙන් අනතුරුව පමණක් බව ද චක්‍රලේඛයේ සඳහන්ය.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම හා ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කර තිබිය යුතු අතර එය සකසන තුරු දැනට භාවිත කරන මුද්‍රාව භාවිත කළ යුතු බවට ද උපදෙස් දී ඇත.  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරින්ට නිකුත් කරන DS 4 සහතික පොත්වල ඇති සහතික හැර වෙනත් ආකෘති, ලිපි හෝ සහතික භාවිත කර පදිංචිය සහ චරිතය පිළිබඳව සහතික නිකුත් නොකරන ලෙස ග්‍රාම නිලධාරින්ට දැනුම් දෙන ලෙස ද මෙම  චක්‍රලේඛයන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

මෙම සහතික නිකුත් කිරිමේ දී අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳ වගකීම ග්‍රාමසේවා නිලධාරින් විසින් බාරගත යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කරයි. මේ පිළිබදව අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තත්තකෝන් මහතා මෙසේ ද පැවසීය.

"සාමාන්‍ය ජනතාවට විවිධ චක්‍රලේඛ නිසා දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු වී තීබෙන බව අනාවරණුය වී තිබෙනවා. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සොයා බැලුවා. තවත් මෙවැනි අණපනත් තිබේදැයි යන්න අපි විශේෂ කමිටුවක් මගින් සොයා බලනවා. ජනතාව පීඩාවට පත්කරන චක්‍රලේඛ ඉවත් කොට ජනතාවට සහනදායි වැඩපිළිවෙළක් සකස් කිරීම අපේ රජයේ අරමුණයි.

බොහෝ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කාර්යාලයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිලෝ මීටර් ගණනාවක් දුරයි. සමහර අයට ප්‍රවාහන පහසුකම්වත් නෑ. මේ නිසා චරිත සහතිකය, පදිංචි සහතිකය ගන්න දුෂ්කරතා රැසක් විඳින්න සිදු වී තිඛෙනවා. මේ හේතුව නිසා ඇතැම් අයට රැකියා පවා අහිමි වී තිබෙන බව අපි දන්නවා.

ජනතාවට තමන්ගේ වසමේ ග්‍රාම නිලධාරිවරයා  වෙත ගොස් චරිත සහතිකය හෝ පදිංචි සහතිකය ලබාගත හැකි නව නීති ගෙනාවේ මේ දුෂ්කරතා මගහැර වීමටයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ජනතාවට ලැබිය යුතු සහන රැසක් ඉතා සරලව ලබා ගැනීමට හැකිවන පරිදි අණපනත් සකස් කිරීම මගේ අරමුණයි. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මගේත්  එකම ප්‍රාර්ථනාව වෙන්නේ ක්‍රියාශීලි ජනතාවාදී රාජ්‍ය සේවයක් මේ රටේ ස්ථාපිත කිරීමයි.

-කාංචන කුමාර ආරියදාස-