නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ජයනි ප්‍රිශංගිකා මහත්මියගේ අක්‍රමිකතා ගැන විගණකාධිපති වාර්තාවක් උපුටමින් මාධ්‍ය මගින් සිදු කළ හෙළිදරව්වෙන් පසු ඇය රැකගැනීමේ අදහසින් දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට අද (17) උදෑසන විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ජයනි ප්‍රිශංගිකා මහත්මියගේ අක්‍රමිකතා පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස දෙකක පමණ කාලයක් සිදු කළ විමර්ශනයකින් හෙළි වූයේ
උසස්පෙළ පන්ති සඳහා ළමුන්

ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අවිධිමත් ලෙස පවත්වා ඇති බවයි. සුදුසුකම් ඇති සිසුවියන් තෝරානොගෙන ඔවුන් නොකැඳවා ජාත්‍යන්තර පාසල් වල අඩු සුදුසුකම් ඇති සිසුවියන් හෙළි නොවූ අල්ලස් හෝ වෙනයම්  සැකසහිත හේතුවක් මත පාසලට ඇතුලත් කරගෙන ඇති බවයි.
 එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව කම්බි වැටක් ඉදි කිරීමට දෙමාපියන්ගෙන් රුපියල් 1,016,000 ක මුදලක් එකතු කර එය පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර නොකර කොන්ත්‍රාත්කරුවෙක්ට ලබාදීමට කටයුතු කර තිබීමද එම වාර්තාවේදී අනාවරණය වී තිබුණි.

මීට පෙර එම විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් පිළිබඳව එම පාසලේ ගුරවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක්ද යොමු කර තිබුණි. විදුහල්පතිනිය සිදු කරන ලද අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ෂන වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දුන්නද අධ්‍යාපන අමාත්‍යංශය ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව ගුරු සංගමය කීපවතාවක්ම මාධ්‍ය දැනුවත් කළ අතර පසුගිය දිනවල එම වාර්තා ප්‍රසිද්ධ විය.

එම ප්‍රසිද්ධ වූ කරුණු වලට විරෝධය පළ කරමින් විදුහල්පතිනියට පක්ෂපාත දෙමාපියන් පිරිසක් එම විදුහල්පතිනිය වෙනුවෙන් ගුරු සංගමයට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් අද විරෝධතාවයේ නියැළේ.