එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණ අතහැරියොත් එම ලකුණ මැතිවරණ කොමිසමේ පක්‍ෂ ලේඛනයට ඇතුළත් වන හෙයින්, මැතිවරණයෙන් පසුව එය යළිත් එ.ජා.ප.යට ලැබෙන බවට කිසිඳු සහතිකයක් දිය
නොහැකි යැයි මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී ඇත. 'අලියා' ලකුණ සම්බන්ධයෙන් පමණක් නොව 'හංසයා' ලකුණ සම්බන්ධයෙන් ද ඒ තත්වයම බලපාන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

මැතිවරණ කොමිසම මෙසේ දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීය. එක්සත් ජාතික පක්‍ෂයේ 'අලියා' ලකුණ මෙන්ම තව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 'හංසයා' ලකුණ ද මාරු කිරීමේ  නීතිමය පසුබිම ගැන එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබිණි.

කිසියම් ලියාපදිංචි පක්ෂයක් සිය ලකුණ අතහැරිය විට එය මැතිවරණ කොමිසමේ ලකුණු ලයිස්තුවට ඇතුළත්වන බවත්,  ඉන්පසුව පක්‍ෂ එකකට වැඩි ගණනක් එම ලකුණ ඉල්ලුවොත් එය ලබාදිය යුත්තේ කුමන පක්‍ෂයට දැයි යන්න කුසපත් ඇදීමෙන් තීරණය කිරීමට සිදුවන බවත් මැතිවරණ කොමිසම් සාමාජිකයන් එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ට පැහැදිලි කර දී  ඇත.

මේ තත්ත්වය අනුව අලියා ලකුණ මෙන්ම හංසයා ලකුණක් පක්ෂයකින් තවත් පක්ෂයකට මාරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

-අංජුල මහීක වීරරත්න-