යාපනය, මාදගල් මුහුදු ප්‍රදේශයේදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් රත්රන් කිලෝ 14, ග්‍රෑම් 350ක් ධීවර යාත්‍රාවකින් ගෙන යමින් සිටි දෙදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. උතුරු
නාවික විධානයේ නිලධාරින් පිරිසක් ඉකුත් 14 වැනිදා රාත්‍රී යාපනය, මාදගල් මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී සැකසහිත ධීවර  යාත්‍රාවක් නිරීක්ෂණය වී වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම්වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා පලාගොස් ඇතත්, නාවික හමුදා යාත්‍රාව එම සැකසහිත යාත්‍රාව හඹාගොස් එය අල්ලො ගෙන ඇත.

පසුව එහි  සිටි දෙදෙනකු සමග යාත්‍රාව නාවික හමුදා බාරයට ගෙන සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම රත්රන් සහිත පාර්සලය එහි තිබී සොයා ගෙන ඇතැයි නාවික හමුදා ආරංචිමාර්ග පවසයි. එම පාර්සලය තුළ රත්රන් කිලෝ 14, ග්‍රෑම් 350ක ප්‍රමාණයක රන් කැබිලි වශයෙන් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 11කට අධික වෙතැයි නාවික හමුදාව ගණන් බලා ඇත. නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 හැවිරිදි වියේ පසුවන මාදගල් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අදාළ රත්රන් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැකකරයි.
නාවික හමුදා බාරයට ගන්නා ලද රත්රන් තොගය හා සැකකරුවන් දෙදෙනා ධීවර යාත්‍රාව සමග ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරනු ලැබීය.

-රෝමේෂ් මධුසංඛ-