https://www.gossiplankanews.com/2020/02/airbus-issues.html#more
යුරෝපයේ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී විවිධ රටවල ගුවන් සමාගම් සහ ඒවායේ ඉහළ පෙළේ නිලධාරින් විසින් සිදුකළ බවට අනාවරණය කෙරුණු මුදල් වංචා හේතුවෙන් එයාර් බස් සමාගමේ ඇතුළු ලොව ගුවන් සමාගම් රැසකම අභ්‍යන්තර අර්බුද හටගෙන ඇතැයි වාර්තා වෙයි. බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා
කාර්යාලය(SFO - Serious Fraud Office) මගින් පසුගිය සිකුරාදා මෙම අනාවරණය සිදු කරන ලදී. එහි සඳහන් වූ ආකාරයට ශ්‍රී ලංකාවද ඇතුළුව මැලේසියාව, ඝානාව, කොලොම්බියාව, කොරියාව, තායිවානය යන රටවල ගුවන් සේවා වෙත එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී එයාර් බස් සමාගම එම පිරිස් වෙත අල්ලස් මුදල් ඇතුළු වරදාන ලබා දීමෙන්  වංචා සිදුව තිබේ.


මෙම අනාවරණයත් සමගම එයාර් බස් සමාගම බ්‍රිතාන්‍යය, ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ අධිකරණ වෙත සිදුකළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස දඩයක් ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක මුදලක් ගෙවීමටද කැමැත්ත පළ කර තිබේ. මේ අතර එයාර් බස් සමාගමට අදාළ වංචාකාර් ගනුදෙනු පිළිබඳව මැලෙසියා රජය පරීක්ෂණ පවත්වන තෙක් මාස දෙකක කාලයක් සිය ධුරවලින් වෙන්වීමට මැල්සියාවේ එයාර්එෂියා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ෆර්නෑන්ඩෙස් සහ එහි සභාපති කමාරුඩින් මෙරානුන් ඊයේ තීරණය කළේය.

එසේ ඝානාව වෙත එයාර් බස් සමාගම නිපදවූ යුද හමුදා ප්‍රවාහන ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාව පිළිබඳවද පරීක්ෂණ ඇරඹී ඇත. මෙම ගනුදෙනුවට මැදිහත්වූ නියෝජිතයා ගුවන් යානා පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති පාපන්දු කණ්ඩායමක පහසුකම් සපයන කළමනාකරුවෙකුව සිටි අයෙකු බව අනාවරණය වී තිබේ.

කොලොම්බියාවේ, ඒවියන්කා ගුවන් සේවය වෙත ගුවන් යානා මිලදී ගැනීමේදී එයාර් බස් සමාගම මෙලෙස අල්ලස් දී ඇතැයි බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලයේ අනාවරණය තුළ ඇතුළත් වෙයි. එහිදී මෙම ගුවන් සමාගමට  අනුබද්ධ ඒවියන්කා හෝල්ඩිංග්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායකයෙකු වෙත මෙම මුදල් බැරවී ඇත.ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීම සඳහා කොලොම්බියා රජය නීතිඥ සමාගමක උපකාරය ලබාගෙන තිබේ.


කොරියානු ගුවන් සේවය සහ තායිවානයේ චීන ගුවන් සේවයට එයාර් බස් සමාගමේ ජෙට් යානා මිලදී ගැනීම්වලදී මෙවැනිම මුදල් වංචාවකට සම්බන්ධවී ඇතැයි මෙම අනාවරණය තුළ සඳහන්ව ඇත. එහෙත් එම සමාගම් දෙකම මේ පිළිබඳව අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2ක  අල්ලසක් ලබාගෙන ඇතැයි සිදුවීම  සම්බන්ධයෙන් වන පරික්ෂණද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදු වෙයි.

එහිදී දැනට මේ සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙන සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු වන කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට රටින් පිටවීම මේ වනවිට තහනම් කෙරි ඇති අතර, ඔවුන්ගේ බැංකු ගිණුම්ද මේ වනවිට පරීක්ෂා කිරීම්වලට ලක් කෙරෙමින් පවතී.