අන්තර්ජාල මගින් සිදුකරන ගනුදෙනු හා බැංකු කටයුතුවලදී අන්තර්ජාල වෙබ් පිටුවල විශ්වසනීයත්වය සහ සත්‍යතාව තහවුරු කරගෙන විමසිලිමන්ව ගනුදෙනු කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා
සිටියි. මුරපද (Password) සහ ඇතුළත් වීමේදී භාවිත කරන නම (User Name) වෙබ් පිටු ඔස්සේ හුවමාරු කරගැනීමේදී මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, අන්තර්ජාලය ඔස්සේ රුපියල් කෝටිතුනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු තිස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට ඇතුළත් වී එම ආයතනය විසින් කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් මිලියන 30ක් වෙනත් ගිණුමකට බැර කිරීම හා ඒ ආකාරයට තවත් රුපියල් මිලියන සියයක් ලබාගැනීමට උත්සාහ කිරීමක් පිළිබඳ පොලීසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අදාළ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රධානියා විසින් පසුගිය 24 වැනිදා මේ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ලට අනුව එදින කොළඹ ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පදිංචි ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබියදී රුපියල් ලක්ෂ දහසයක මුදලක් සොයාගෙන ඇත.  මීට අමතරව පසුගිය 03 වැනිදා වංචාවට සම්බන්ධ ගිණුම් හිමි විදේශිකයන් දෙදෙනා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිමෙන් පසු අද (06දා) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ ප්‍රදේශයේදී මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, මෙම සැකකරුත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

-ඉන්දික හේවාවිතාරණ-