ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සකස් කර තිබෙන නව සන්ධානයේ සම සභාපති තනතුරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලෙස යෝජනා කරන බව ශ්‍රී ලංකා
නිදහස් පක්‍ෂය සඳහන් කරයි. මීට අමතරව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේදී අපේක්‍ෂක ලැයිස්තුවෙන් 30%ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිවිය යුතු බවද එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.

සම සභාපති තනතුර ශ්‍රී ලංකා  නිදහස් පක්‍ෂයට ලබා නොදීම හා 30%ක කෝටාව ලබා නොදීම පිළිබඳ විවිධ පිරිස් ප්‍රකාශ සිදුකළද, පුළුල් සන්ධානයක් ගොඩනැගීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී මෙම කරුණුවලට දෙපාර්ශ්වයේම නායකයන් එකඟ වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපති හා අගමැති අතර රාජකාරි කිරීමේදී අවුලක් ඇති කර තිබෙන බවත්, එහෙත් ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතාට හෝ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ ගැටලු බලනොපාන බවත්  වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එහෙත් අනාගතයේ දිනකදී කණ්ඩායම් දෙකකින් ජනාධිපති හා අගමැති පත්වුවහොත් වැඩ කටයුතු කිරීමට නොහැකි වන නිසා මෙම ගැටලුව විසඳීමට ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතාට තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු යැයිද ඒ මහතා පැවසීය. මේ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පූර්ණ සහාය ලබාදෙන බවද දිසානායක මහතා පවසා සිටියේය.

-ඉන්දික හේවාවිතාරණ-