https://www.gossiplankanews.com/2020/02/airbus-fraud.html
කිසිදු මිනිස් වාසයක් නොමැති කඳු මුඳුනක කැලෑ පෙදෙසක කුඩා දරුවන් හය දෙනකු සමග කටු මැටි ගැසූ කුඩා පැලක ජීවත්වන අසරණ පවුලක් අපට හමුවිය. මොවුන් ජීවත් වන්නේ ගම්පොළ අම්බුළුවාව
ප්‍රදේශයේය.  අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කඳු මුදුනට පිවිසෙන දොරටුව ඉදිරිපිට ඇති කඳු මුදුන මත මොවුහු මෙසේ ජීවත් වෙති. 2016 ට පෙර මෙම කඳු මුදුනට ගම්පොළ නගර සභාව මගින් කසළ බැහැර කළ අතර එම කසළ දැමීමට කපා තිබූ මාර්ගය ඔස්සේ මොවුන්ගේ කුඩා පැල වෙත ගමන්    කළ හැකිය.

එදා එම කසළ කන්ද නාය යාමත් සමග එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම නැවතී ඇති අතර මේ වන විට වසර හතරක් පුරා එම මාර්ගය කැලයෙන් වැසී ඇත. මෙම කැලෑ මාර්ගයෙන් කඳු මුදුනට පිවිසෙන විට කටු මැටි හා ඉටි රෙදිවලින් ආවරණය කරන ලද මෙම නිවස හමුවේ. මෙහි සිටින දරුවන් හය දෙනාගෙන් තිදෙනෙකු පාසල් වයසේ පසුවුවත් ඔවුන් තාමත් රජයේ පාසලකට ගොස් නැත.


දුප්පත්කම නැති කිරීමට කතා කරන  දේශපාලනඥයන් හෝ රජයේ නිලධාරින් මොවුන්ට සමෘද්ධියවත් සකසා දී නොමැති අතර මූලික පහසුකම් කිහිපයක් හෝ ලබාදීමට පියවර ගෙන නොමැති බව පැවැසේ.  මෙහි ජීවත් වන තිස් හැවිරිදි සෝමසිරි චිත්‍රාගනී සිංහල කතක වන අතර ඇගේ  සැමියා වන එස්. මහේන්ද්‍ර කුමාර් දෙමළ ජාතිකයෙකි.  මොවුන් ආදර සම්බන්ධතාවකින් එකතුවී පසුව ගම්පොළ අම්බුළුවාව ප්‍රදේශයේ අයෙකුගේ වතක් බලා ගනිමින් එහි ජීවත්ව ඇත.

නමුත් එම වතු හිමියා එම ඉඩම් විකිණීමට අවශ්‍ය යැයි පැවසූ නිසා එයින් ඉවත්වූ පසු ජීවත් වීමට ස්ථානයක් නොමැති නිසා රජය සතු මෙම ඉඩම් කැබැල්ලට පැමිණ ඇති බව ඔවුහු පැවැසූහ. එයින්ද පිටව යන ලෙස රජයේ නිලධාරීන් ඇතුළු විවිධ අය බලපෑම් කළ ද අදටත් මෙහි ජීවත් වන බව ඔවුහු පවසති. මොවුන්ගේ වැඩිමහල් දරුවා සංජීව 13 හැවිරිදිය, පවිත්‍රා 11 හැවිරිදිය, සංජීව 9 හැවිරිදිය. තවත් අවුරුදු 4ක, 3ක හා අවුරුද්දක පිරිමි දරුවන් තිදෙනකු ද සිටින අතර මොවුන් හැමෝම මන්දපෝෂණ තත්ත්වයට පත්ව සිටින බවත් දක්නට ඇත.

පාසල් වයසේ පසුවන දරුවන් තිදෙනාට පාසලක් නොමැති වුවද මෙම මව පියා විසින් ඔවුන් ගම්පොළ නගරයට ආසන්න දේවස්ථානයකට අකුරු කිරීම සඳහා බාර දී ඇත.  එම මව පවසන්නේ ලොකු පුතා 7 වසර පංතියේ සිටිය යුතු වුවද මෙම දේවස්ථානයේ එවැනි පන්ති නොමැති නිසා පොදුවේ ළමයි සියල්ලටම යමක් උගන්වන බවයි.

මහෙන්ද්‍ර කුමාර දිනපතා කුලියක් කර කීයක් හෝ උපයා ගැනීමට උත්සාහ දරන අතර එම සොච්චම් මුදල දරුවන් හය දෙනාගේ බඩකට පිරවීමට නොසෑහෙන බව චිත්‍රාගනී පවසයි.  මෙම නිවසේ ඇඳක් මේසයක් නොමැති අතර දරුවෝ මැටී පොළොවේ නිඳා ගනිති. උරගයින් ඌරන් වැනි සතුන්ගෙන් මෙම කැලෑ බිමේ දරුවන් රැක ගැනීමට මෙම මව්පියන් මහත් වෙහෙසක් දරන අයුරු ශෝකය දනවන්නකි.

මෙහි අධික සුළගක් පවතින අතර වැසි සමයේ දී ඉමහත් දුෂ්කරතාවක් විඳීමට මොවුන්ට සිදුව තිබේ. චිත්‍රාගනී පවසන්නේ දරුවන් රැක ගැනීමට  නිවසක් හෝ ඉඩමක් ලැබුණොත් ඇති කියාය.  මෙම දරු පවුල පදිංචි කොටස ගම්පොළ  සිංහාපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමට අයිති අතර එහි සේවය කරන ග්‍රාම නිලධාරිනිය වන
කේ.ඒ.ඩී.කේ. ගජනායක මහත්මිය මෙසේ පැවැසුවාය.


මම මේ වසමට ඇවිත් ටික කාලයයි. එම කාලය තුළ මෙම දරු පවුල පිළිබඳව තිබෙන ගැටලු විසදීමට කටයුතු කරමින් ඉන්නේ. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මා හට ලැබිලා තියෙනවා. මේ දරුවන්ට උප්පැන්න පවා නෑ. අන්තිම දරුවත් ලැබිලා තියෙන්නේ නිවසේ. ඉතිං ඒ අයට උප්පැන්න සකස් කිරීමටත් කටයුතු කළා. දැන් ළමයින් 4 දෙනෙකුගේ නම් උප්පැන්ත වලට දාලා තිබෙනවා. ඒ වගේම අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා අම්බුළුවාව පාමුලින් ඉඩම් කැබැල්ලක් දෙන්න පොරොන්දු වුණා.එහෙම  වුණොත් එතන නිවසක් හදලා දෙන්නේ පුළුවන්.

මේ පිළිබඳව ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය  ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගෙන්  විමසීමක් කළ අතර ඇය මෙසේ පැවැසුවාය. මේ දරු පවුල ගැන අපට දැන ගන්නට ලැබුණා. මේ මවයි පියයි විවාහ වෙලත් නෑ. පසුගිය දිනක ගම්පොළ පැවැති ජංගම සේවයට ඔවුන් කැඳවලා ඒ දෙදෙනා විවාහ කළා. මේ දරුවන්ට පාසලක් නොමැති නිසා ඒ පිළිබඳවත් අපි අධ්‍යාපන අධ්‍යක්ෂ එක්ක කතා කරලයි තියෙන්නේ.
මේ ජංගම සේවය පැවැත්වූයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස අනුරාධ ලංකා ජයරත්න මන්ත්‍රීතුමයි.

එතුමා මේ අයගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. ඒ අතර මහේන්ද්‍ර කුමාරට අම්බුළුවාව සංකීර්ණයේ කම්කරු රැකියාවකටත් කතා කළා. මේ ගැන අපි ඉදිරියේ දී සොයා බලනවා.  කෙසේ නමුත් මේ අසරණ දරු පවුලට පිං කැමති සියලු දෙනා උදව් කරනවා නම් එය මේ කුඩා දරුවන්ගේ අනාගතයට අත්වැලක්. ඒ සඳහා මොවුන්ට බැංකු ගිණුමක් නොමැති අතර පැමිණ උදව් කළ හැකිය.

-සුරංග රාජනායක-