සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සේවකයන් පිරිසකට වෙළෙඳ
ප්‍රදර්ශනයක් සඳහා කැනඩාවට යෑමට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන සංචාරක සංවර්ධන,

වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ අදාළ අමාත්‍යවරයාගේ අස්සන්
යොදාගෙන ව්‍යාජ නම් සහ තනතුරු යොදාගනිමින් රුපියල් ලක්ෂ 20 බැගින් ලබාගෙන වෙනත් පිරිසක් අදාළ
වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි කර විදේශගත කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි සංචාරක
සංවර්ධන, ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩල සේවිකාවන් දෙදෙනා මේ
මස 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග
දිසානායක මහතා ඊයේ (11දා) නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කරනු ලැබුවේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

විත්තිකාර කාන්තාවන් දෙදෙනා සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ
පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කර ඇති සේවිකාවන් දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා
තොඩුවත්ත ගමරාලලාගේ ධනංජනී ජයශාන්ති, කොට්ටච්චි ආරච්චිලාගේ සුජීවා නොහොත් මැණිකේ නමැති
දෙදෙනෙකි.

ආගමික විශ්‍රාමික පනත යටතේ චූදිත කාන්තාවන් දෙදෙනාට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශය මඟින්
චෝදනා ගොනුකර තිබුණි ,

ආගමික විගාමික පනත යටතේ චෝදනා ගොනුකර තිබීම මත සිද්ධියේ පළමු සැකකාරිය වන තොඩුවත්ත
ගමරාලලාගේ ධනංජනී ජයශාන්ති යන අයට නියම කර තිබූ ඇප අවලංගු කරමින් ඇයව රක්ෂිත බන්ධනාගාර
ගත කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි. ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැති
බවට මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටි අතර ආගමික විගාමික පනත චූදිතයන් දෙදෙනාට අදාළද නැද්ද
යන්න සලකා බැලීම සඳහා ලිඛිතව ඉල්ලීමක් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ට දැනුම් දෙනු ලැබිණි.

2014 වසරේදී කැනඩාවේදී වටාවාහි පැවැත්වෙන ප්‍රදර්ශනයකට ලක්ෂ 20 බැගින් අය කරමින් එලෙස
පිටස්තර තිදෙනෙක් සහභාගි කරවමින් විදේශගතකර ඇති අතර ඔවුන් මෙතෙක් ශ්‍රී  ලංකාවට පැමිණ නැත.
එක පුද්ගලයකුට පමණක් විදේශ ගතවීමට අවස්ථාවක් ලැබී නොමැති අතර ඔහුගෙන් ලක්ෂ 23ක මුදලක්
සිද්ධියට සම්බන්ධ පිරිස විසින් ලබාගෙන ඇත. සිද්ධියට එවකට සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි
කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වූ ජෝන් අමරතුංග මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි ලාල්
රත්නායක නමැත්තකු සහ තවත් අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන රහීම් වාසි නමැත්තකු
සිද්ධියට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී ඇති බවද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයන් අධිකරණයට කරුණු
සැලකර සිටි අතර සිද්ධියට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු බවට අධිකරණයට කරුණු සැලකර
සිටියේය. විදේශ ගත කිරීමට අදාළ ලියකියවිලි සඳහා වනජීවී ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයාගේ
අස්සන යොදා ඇති බවද  ලබාගත් මුදල්වලින් ලක්ෂ 4ක් ජෝන් අමරතුංග මහතාගේ පැවැති ආරක්ෂක
අංශයේ ආරක්ෂක නිලධාරියකුගේ ගිණුමකට බැරකර ඇති බවද එම නීතිඥයන් සැලකර සිටිනු ලැබිණි.

අමිල අබේරත්න