කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් මිනුවන්ගොඩදී හා ජා-ඇළ ලොරි රියැදුරෙකු  හා ත්‍රිරෝද රථ රියැදුරෙකු රැගෙන ගොස් ඝාතනය කර ලොරි රථය හා රුපියල් විස්සක මුදලක් කොල්ලකෑ තිදෙනෙකුගෙන් යුත්
කල්ලියේ ප්‍රධාන සැකකාර ගරාජ් හිමියා ඊයේ (11දා) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙම සැකකරුවන් අතින් ඝාතනයට ලක්වූයේ ජා-ඇළ ප්‍රදේශයේ 55 හැවිරිදි ලොර් රථ රියැදුරෙකු හා මිනුවන්ගොඩ අඹගහවත්ත පදිංචි 64 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි. දින දෙකක් තුළ එකම ආකාරයෙන් සිදුවූ අපරාධ ද්විත්වය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා පොලිස් කණ්ඩායම් කිහිපයකට ලබාදුන් උපදෙස් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් දෙදෙනා මීට පෙර කටුනායක පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් බවද, මෙම ඝාතනයන්ගේ ප්‍රධාන සැකකරු මීට කලකට පෙර සොරකම් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියදී දැන හඳුනාගෙන තිබූ අනෙක් සැකකරුවන් දෙදෙනා හා එක්ව මෙම ඝාතනය සිදුකර තිබූ බවද, සැකකරුවන් දෙදෙනා හෙරොයින්, මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවන් බවද පොලීසිය පවසයි.

ඝාතකයන් පැමිණි මෝටර් රථය නඩත්තු කටයුත්තක් සඳහා මීගමුව කදිරාන ගරාජයට දමා තිබූ බවද, ඒ අනුව එම ගරාජය සොයා යාමේදී එකී මෝටර් රථය සමග ගරාජ් හිමියා පිටතට ගොස් ඇති බවද, ඒ අනුව එම ගරාජ් හිමියා අත්අඩංගුවට ගත් බවද පොලිස් නිලධාරියෙකු පැවසීය.

පසුගිය 31 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේදී ලොරි රියැදුරුව කිරිඳිවැලට කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් මිනුවන්ගොඩ නිවන්දම ප්‍රදේශයේදී ඔහුගේ උදර ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර එකී ලොරියේ කොටස් ගලවා රුපියල් හතළිස් පන්දහසක මුදලකට තිහාරිය පුද්ගලයෙකුට විකුණා තිබූ බවද අදාළ පොලිස් නිලධාරියා පැවසීය.

එයින් දින දෙකකට පසුව එලෙසම මිනුවන්ගොඩ ත්‍රිරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් ඒකල මොන්ටාන වත්ත ප්‍රදේශයේ පාළු ස්ථානයකදී ඝාතනය කර ත්‍රිරෝද රථය කොල්ලකෑමට සුදානම් වී ඇති නමුත් ත්‍රිරෝද රථ රියැදුරු එහි යතුරු අසල කැලයට විසිකර ඇති බවද, අනතුරුව ඔහු ඝාතනය කර ඔහුගේ මුදල් පසුම්බිය සැකකරු විසින් කොල්ලකා තිබූ බවද, පොලීසිය වැඩිදුරටත් පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ ඍජු මැදිහත්වීම මත හා උපදෙස් මත කැලණිය පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහත්වරුන්ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ ජා-ඇළ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගැමුණු, උපපොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහත්වරු ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ