කොළඹ පිහිටි නිවසකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සොයාගත් ආන්දෝලනයට. තුඩු දුන් ඉඩම් ඔප්පු, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට අයත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදී ඊයේ අනාවරණ කළේය.
ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන්
ප්‍රකාශයක් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර හිමි වුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ 05 ඉසිපතන මාවතේ නිවසක් ඉකුත් 10වනදා පරික්ෂාවට ලක් කොට එහි තිබී මුදල් ලේඛන සහ ඔප්පු පිටපත් දෙසිය හතලිහක් සිය භාරයට ගැනුණි.


සතොස ආයතනය තුළ සිදුවූ ගනුදෙනුවලට අදාල ලිපි ලේඛණ තොගයක් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලබා ගත් අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර වූ බව වාර්තා විය.

එම නිවසේ හිමිකරු ඉම්රාන් මොහොමඩ් නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට එදින සඳහන් කළේ එම ලේඛන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයාට අයත් මෙගා කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ සේවකයෙකු තමන්ට ලබා දුන් බවයි.

නමුත් සතොස ආයතනයේ ලිපි ලේඛන ළඟ තබාගැනීමට සැකපිට නිවෙස්හිමියා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එම නඩුව ඊයේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට පැවසුවේ ලිපි ලේඛන අතර තිබූ මුදල් පෙරොන්දු පත්‍රයක් සම්බන්ධව නිවසේ හිමිකරු අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවයි.

එම මුදල් පොරොන්දු පත්‍රයේ වටිනාකම රුපියල් නව ලක්ෂ තිස්පන්දහසක් බවට එම පුද්ගලයා සඳහන් කළ ද එහි සත්‍ය වටිනාකම රුපියල් නව කෝටි අසූ නව ලක්ෂ තිස්පන්දහසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණ කළේය.


සිය භාරයට ගත් ඉඩම් ඔප්පු රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් බව වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ඒ අනුව ඒ පිළිබඳ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන කේ.එම්.එම්.අයි.අමීෂාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර හිමි වූ අතර ඇයගෙන් ඉදිරි දිනකදී ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.

සැකකාර නිවෙස් හිමියා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මෙම නඩුව එළැඹෙන 28වනදා යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.