දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක - හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 වැනිදා විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා
අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක
කොටස මෙන්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර යහපාලන රජය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන් කිරීමට පෙර විවෘත කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුව අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව කොටස විවෘත කිරීම මඟින් ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක් හා ගුවන්තොටුපොළවල් දෙකක් සම්බන්ධ කරන හෙයින් ඒ හරහා භාණ්ඩ හා මගී ප්‍රවාහනය තවදුරටත් පහසු වන බවයි.

එය ආර්ථික සංවර්ධනයට ධනාත්මක  බලපෑමක් එල්ල කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීනය මඟින් සිදු කෙරිණි.