https://www.gossiplankanews.com/2020/01/kuwait-death-darshani.html#more
කුවේට් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ  නිවසක සේවයේ නියුතුව සිටිය දී පසුගිය 23දා අභිරහස් ලෙස මියගිය දෙදරු මවකගේ  දේහය මියගොස් දින එකොළහකට පසුව ඉකුත් 3 වැනිදා වාද්දුව මැලැගම ප්‍රදේශයේ පදිංචි ඇයගේ නිවසට රැගෙන විත් තිබුණි. මෙසේ මියගොස් ඇත්තේ
කේ. දර්ශනී දේශප්‍රිය නමැති 41 හැවිරිදි දෙදරු මවකි. ඉකුත් සැප්තැම්බර් මස 20 දා කුවේට් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නිවසේ මෙහෙකාර සේවයට ගිය ඇය හදිසියේ මියයාමෙන් පසුව
මේ ආකාරයට ඇයගේ මළසිරුර ලංකාවට එවා තිබුණි.
ඇයගේ මරණයෙන් බලවත් කම්පනයට පත්ව සිටින ශෙහාන් අවිෂ්ක

සහ සුලෝචන චතුරංග දරු දෙදෙනා ඇතුලු පවුලේ අය මරණය ගැන සැක පළ කර තිබේ.
මරණය පිළිබඳ අදහස් දැක්වූ මියගිය අයගේ බාල සොහොයුරිය කේ. ජීවනී දේශප්‍රිය (35) මෙනවිය මෙසේ පැවැසුවාය.
අපි හිනෙකින්වත් හිතුවේ නැහැ අක්කට මෙහෙම දෙයක් වෙයි කියලා. අක්කා පසුගිය 22 දා අසනීප වුණ බව දුරකථනයෙන් අපට දැනුම් දුන්නා. කුවේට් රෝහලකට රැගෙන ගිය අක්කාට දින තුනක් සේලයින් දෙන්න කියලා දොස්තර නිර්දේශ කරලා. ඒත් එක දවසකින් අක්කව ගෙදර ගෙනැවිත් නාවලා. අක්කා නැවතී සිටින නිවස ආසන්නයේ ලංකාවේ තව තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය සහ නිවසේ හිමිකරු පවසන තොරතුරු එකිනෙකට වෙනස්. නිවසේ අය කියන්නේ අක්කා ගෙළ වැලළාගෙන දිවිනසාගන්න හැදුවා කියලයි.
මියගියේ මොන හේතුව නිසාද ලෙඩේ වෙච්ච වෙලාවෙ ගෙදර අය සලකපු විදිහ වැනිදේ ගැන ප්‍රශ්න තිබෙනවා. මේ ගැන පරීක්ෂණයක් කරනවා නම් මියයන්න පෙර අක්කා දැනුම් දුන් තොරතුරු සියල්ල පටිගත කළ හඬ පට අපට තියෙනවා.
තවත් සොයුරියක වන කේ. තක්ෂිලා දේශප්‍රිය (39) මහත්මිය  මෙසේ පවසා තිබේ.
'මිය ගොස් සිටින්නේ මගේ අක්කා. අක්කගේ මරණය පිළිබඳ අපි විදේශ සේව නියුක්ති කාර්යාංශයට කිව්වා. එයාලා කිව්වා ඒජන්සියට යන්න කියලා ඒජන්සියෙන් කියනවා අක්කා සියදිවි නසාගෙන කියලා. ගේ හදාගන්න රට ගිය අක්කා කවදාවත් ජීවිතේ නැති කර ගන්නේ නැහැ. අක්කා නැවතිලා හිටිය ගෙදර ඉන්නේ කුවේට්වල ලොකු පොලිස් නිලධාරියෙක් සහ වෛද්‍යවරියක්. ඒ අය අක්කට අනතුරක් කළාද කියලා අපිට සැකයි.
මියගිය අයගේ මව කේ. සෝමලතා (70) මහත්මිය හැඩු කඳුළින් මෙසේ පැවසුවාය.

මිය ගොස් සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. ඇය දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්නයි විදේශ ගත වුණේ. පඩි ලැබී තියෙන්නේ මාස දෙකයි. දෙසැම්බර් මාසේ පඩියක් නැහැ. දැන් මේ දරුවෝ දෙන්නා අසරණයි. ඔවුන් දෙදෙනාට සාධාරණයක් ඉටුකරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. යනුවෙන් පැවසුවාය.

තොරතුරු -දයා හේමන්ත සිල්වා