රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 58) වටිනා රන් බිස්කට් 65ක්, බඩ වටේ ඔතාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ, ගුවන් තොටුපළ
පොටර්වරයකු ඊයේ (5) උදේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක,  අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. ගුවන් තොටුපළ තුළ මගීන්ගේ භාණ්ඩ ප්‍රචාහනයට සහාය වීමට මෙම පෝටර්ලා
ගුවන් තොටුපළ තුළ රැඳී සිටිති.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 41 හැවිරිදි මෙම පෝටර් පිළිබඳ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට බුද්ධි තොරතුරු ලැබී තිබුණි. මොහු ඊයේ උදේ 9.15ට පමණ, තම සිරුරේ, උදර ප්‍රදේශයේ කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 500ක් බර රන් බිස්කට් 65ක් බැඳගෙන, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යද්දී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමන්ජිත්, සහකාර රේගු අධිකාරීවරුන් වන හිරුන් ගුණසිරි, දිල්ෂාන් වැලිගම්පිටිය, ධනුෂ්ක අලහකෝන් සහ අනුප්‍රිය ගුණවර්ධන යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

-ටි.කේ.ජී.කපිල-