https://www.gossiplankanews.com/2020/01/guinness-record-sri-lanka-twins.html
පෙරේදා (20) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණ ශ්‍රී ලංකා නිවුන් හමුව ගීනස් ලෝක වාර්තාවක් ඉලක්ක කරගෙන සංවිධානය කර තිබුණත් එහි සංවිධානයේ දුර්වලතා හේතුකොට ගෙන එම වාර්තාව පිහිටුවීමට එදින අසමත්ව තිබේ.
ඉතා ආකර්ෂණීය සංකල්පයකට අනුව යමින් විශාල ප්‍රචාරයක් දියත් කර අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයා ලෙස කැඳවාගෙන මෙම උත්සවය සංවිධානය කර
තිබුනේ ශ්‍රී ලංකා නිවුන් සංගමයයි.
 ලොව වැඩිම නිවුන් පුද්ගලයින් ඒකරාශි කරන හමුවක් ලෙස මෙය පවත්වා ඔවුන් ගිනස් වාර්තාවක් තැබීමට සැලසුම් කරන ලද්දේ මින් ඉහත තායිවානයේ තායිපේ ශාලාවේ 1999 තබා තිබුණ වාර්තාව අභිබවන්නටය.
එයට ද්වී නිවුන්නු 3,961 ක් ත්‍රිත්ව නිවුන්නු 37 ක් හා සිව් නිවුන්නු 4 ක්  එක්ව තිබූ අතර ශ්‍රී ලංකාවේ වාර්තාවට නිවුන් කණ්ඩායම් 5000 කට වැඩි පිරිසක් එක්වනු ඇති බවට සංගමයේ ලියාපදිංචිය සලකා බලා පූර්ව ගණනයන් සිදු කර තිබුණි.

නමුත් මේ සම්බන්ධයෙන් සිදුවූ ප්‍රචාරයන්හි අධිකතාව හා නිසි

කරුණු සන්නිවේදනය නොවීමේ ගැටලු මත අවිධිමත් ලෙස විශාල වශයෙන් නිවුන් කණ්ඩායම් සුගතදාස පිටිය වෙත පෙරේදා ඇදී ආ අතර ඔවුන් ඇතැමුන් සතුව උප්පැන්න සහතික ආදී අත්‍යවශ්‍ය ලියැවිලි නොතිබුණි.

සමහරු  උපදෙස් නොදැන පෝරම හරිහැටි පුරවා නොතිබුණි.ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන එදින උදෑසන 10.00ට පැමිණය යුතු බව එම සංගමය මීට පෙර දැනුම් දී තිබුණේය.නමුත් පිරිස ආවේ පමාවීය.

 ලියාපදිංචිය සඳහා ලබාදෙන ලද කාලරාමුව තුළ මෙම වාර්තාව තැබීමට හැකි තරමට ලියාපදිංචිවීම් සිදු නොවූ නමුත් ප්‍රමාදවී සීමාව ඉක්මවා විශාල පිරිස් ඒ වෙත ඇදී ආ බව කියැවේ.
අවිධිමත් ලෙස වරින්වර අසම්පූර්ණ දත්ත රැගෙන පිරිස් පැමිණීමත් ඒවා සලකා බලන්නට කාලය මදිවීමත් නිසා
ගීනස් ලෝක වාර්තාව සහතික කිරීමට පැමිණි විදේශ නියෝජිතයින්ට මෙය වෙහෙසකර ව්‍යායාමයක් වූ බව කියැවේ. අවසානයේ ඔවුන් පවසා ඇත්තේ ලියාපදිංචිය පසෙකලා සමූහ ඡායාරූපය ලබාගෙන ඒ හරහා සහතික කිරීම සිදු කිරීමට උත්සාහ ගන්නා ලෙසයි.

නමුත් ඒ ගැන පිරිස අමතා නිවේදන නිකුත් කළත් 'එක විනාඩි 5 ක්' සියල්ල එකට තබාගෙන සමූහ ඡායාරූපය ගන්නට බැරිව ගිය බව වාර්තා විය. ඔවුන් එහේ මෙහේ ගමන් කිරීමත් තම තමන්ගේ පිරිස් සමග සෙල්ෆී ඡායාරූපවලට පෙනී සිටීමට පමණක් උනන්දු වීමත් නිසා සමූහ ඡායාරූප උත්සාහයද අසාර්ථ වී තිබේ.


වාර්තාව පිහිටවූ බවට එදිනම සහතිකය ලබාදෙන්නට කැමතිවී පැමිණ සිටි ගිනස් ආයතනයේ විදේශ නියෝජිතයින් අවසානයේ පවසා ඇත්තේ සහතිකය ලබාදීම සිදු කළ නොහැකි බවයි. නමුත් සති දෙකක කාලයක් ලබාදී ඇති ඔවුන් ලැබුණ දත්ත ගැන නැවත විශ්ලේෂණයක් කර තීරණය දැනුම් දෙන පවසා පිටව ගොස් තිබේ.

තායිවාන වාර්තාව අභිබවා යන්නට එදින ශ්‍රී ලංකාව අසමත්වූ නමුත් සංගමයේ ප්‍රකාශිකාවක විදෙස් මාධ්‍ය වෙත දන්වා සිටියේ එදින 6000 කට අධික නිවුන් කණ්ඩායම් එහි රැස්වූ බවයි. නමුත් තමන් උත්සාහය අත්නොහරින බවත් සති දෙකක් තුළ ලැබෙන පිළිතුර සලකා වාර්තාව තැබීමට නැවත උත්සාහයක නිරත වන බවයි.
නිසි ලෙස ගණනය කරගන්නට බැරිවීමේ ගැටලු හා අවිධිමත් සංවිධානය නිසා ශ්‍රී ලංකාවේ නිවුන් වාර්තාව 'Double trouble' එකක් වූබවට මේ වනවිට ඒඑෆ්පී, බීබීසී, ෆොක්ස් නිවුස් ඇතුළු ප්‍රධාන ධාරාවේ විදෙස් මාධ්‍යද වාර්තා කර තිබේ.