https://www.gossiplankanews.com/2020/01/ganiya-barister-phone-calls.html
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතී කාර්යාලයේ වීසා නීලධාරීනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගන්නා යැයී කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හීටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතී කී‍්‍රෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ  හිටපු ප්‍රධාන කර්තෘ දර්ශා බැස්ටියන් යන තිදෙනා
ඇතුළු පිරිසක් දුරකතන මගින් සම්බන්ධවී ඇති බව දුරකතන විශේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (21) දැනුම් දුන්නේය.ජනරජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාදුන්නැයි චෝදනා ලැබ සිටින ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (21) යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරිණි.

සැකකාරියගේ දුරකතන දත්ත සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවිම සඳහා ඇගේ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා විශේෂණ වාර්තාවක් කැඳවීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස  අධිකරණයටත් අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තුවටත් ඉදිරිපත් කරන ලෙසද රජයේ රස පරීක්ෂකවරයා වෙත වැඩිදුරටත් නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරියාගම, අපරාධ පරික්ෂණය දෙපාර්තමෙන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ප්‍රධාන පොලිස් පරික්ෂක  රංජිත් මුණසිංහ සහ පොලිස් පරික්ෂක ඒ.එම්. ලක්මාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරි කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.


ස්විටිසලන්ත තානාපති කාර්යාලය බාරයේ තිබූ සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ ජංගම දුරකතනය ඉකුත් නඩු දිනයේදී අධිකරණය බාරයට ගනු ලැබූ බවත් එහි  දත්ත පිටපත් කර ගැනීමෙන් පසුව එය ආපසු දී ඇති බවත් මෙහිදී සැකකාර පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඇප මත සිටිමින් අධිකරණය  හමුවේ පෙනී සිටියාය. සැකකාරිය වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ සැමියා වන ප්‍රදීප් ප්‍රැන්සිස් සහ ඔහුගේ හිතවතකු වන දුෂ්‍යන්ත සෙල්වරාජ් යන දෙදෙනාගේ ජංගම දුරකතන අංක වෙතින් 2019 නොවැම්බර් මස 25 වැනිදා ආවරණය වන කාල පරාසය තුළ ලබාගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශේෂණ වාර්තා කැඳවනු ලැබූ බවත්, එම දුරකතන අංකවලට අදාළ ලිඛිත පිහිටීම පිළිබඳව දුරකතන ආවරණ කලාප සහ දුරකතන ඇමතුම් හුවමාරුවීම සම්බන්ධයෙන් දුරකතන සම්ප්‍රේෂණ කුලුණු වාර්තා  සිතියමක ලකුණු කොට එම දුරකතන ආයතන ඉදිරිපත් කර ඇති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වැඩිදුර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා සමග අනියම් සබඳතාවක් පැවැත්වූවා නොවේදැයි පැහැර ගැනීම සිදුකළ පුද්ගලයින් ඇසූ බවට පැහැරගැනීමට ලක්වූ බව කියන ගානියා ෆ්‍රැන්සිස් ප්‍රකාශ කරනු ලැබූවත් යම් සම්බන්ධ විමර්ශනයේදී ඇය අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බව හෙළිවී ඇති බවද අපරාධ පරික්ෂණය  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබිණි. ඒ අනුව මෙම සැකකාරිය නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් එසේ පැවසුවේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඇය පැහැර ගැනීමට ලක්වූ බව කියන දිනයේදී ඇය භාවිත කළ ජංගම දුරකතන අංකය වන 0772272893 දරන අංකයෙන් 2019 නොවැමබර් මස 10 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා වූ අතර කාලයේදී ලබාගත් දුරකතන ඇමතුම් විශ්ලේෂයේදී සිද්ධියට අදාළ කරුණු රාශියක් අනාවරණය වූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

සැකකාර ගානියා ෆ්‍රැන්සිස් නමැත්තිය 2019 නොවැම්බර් මස 21 වැනිදා තත්පර 108ක දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති අතර එම දුරකතන අංකය ලියාපදිංචි හිමිකාරිය වන්නේ  නො. 34/1/1/2, ශ්‍රී විමලසිරි පාර, කළුබෝවිල, දෙහිවල  පදිංචි ප්‍රංශ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදිනියක වන ලක්නා  තරිඳු පරණමාන්න බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ දක්වා තිබිණි. ඒ අනුව ඒ තැනැත්තිය ඉකත් 17 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගත් අතර, එහිදී ඇය සඳහන් කළේ තම නමින් ලියාපදිංචිව තිබූ එම දුරකතන අංකයට අදාළ සිම්පත 2011 වර්ෂයේදී සිලෝන් ටුඩේ පුවත්පතේ සේවය කරමින්  සිටි සහ 2019 වර්ෂයේ ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරිශා බැස්ටියන් නමැති තම මිතුරියට ලබාදී තිබූ බව යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිය වාර්තාවෙන් දක්වා තිබිණි.

ඒ අනුව එම දුරකතන ඇමතුමවලට අදාළ දුරකතන අංකය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී දරිශා බැස්ටියන් මහත්මියගේ දුරකතන අංකයෙන් ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටි ක්‍රිෂාන්ත කුරේ මහතා සමග අවස්ථා 21කදී සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.  ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටි ක්‍රිෂාන්ත කුරේ මහතා සිය ජංගම දුරකතන අංකය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ දුරකතනය සමග 2019 නොවැම්බර් මස 18 දින තත්පර 552ක් එනම් විනාඩි 9යි තත්පර 12ක කාලයක් සම්බන්ධ වී ඇති බවට දුරකතන විශ්ලේෂණයේදී අනාවරණය වී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් දක්වා ඇත.


2019 නොවැම්බර් මස 24 වැනිදා අනවසරයෙන් විදෙස් ගත වූ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකාර මහතා ඔහු විදෙස් ගතවීමට පෙර දින එනම් නොවැම්බර් මස 23 වැනිදා පැය‍ 9.30ට සම්බන්ධ වී ඇති බවට දුරකතන විශේෂණ වාර්තා අනුව හෙළිවී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.  ඉහත සඳහන් දුරකතන අංකය භාවිත කළ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කතෘවරියව සිටි දරිශා බැස්ටියන් මහත්මිය ඉකුත් නොවැම්බර් මස 21 වැනිදා ස්විස් රට බලා විදෙස් ගතව ඇති බවත්, ඇය සන්තකයේ තිබූ දුරකතන අංකය ක්‍රියා විරහිතව ඇති බවත්, ලක්නා තරිඳු පරණමාන්න මහත්මිය ඇගේ ප්‍රකාශයේ සඳහන් කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනයට අනුව මෙම නඩුවේ සැකකාරිය වන ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය ඉකුත් නොවැම්බර් මස 21 වැනිදා දරිශා බැස්ටියන් මහත්මිය මෙරටින් පිටව යෑමට පෙර අවසන් ඇමතුම වශයෙන් ඇය සමග තත්පර 160ක කාලයක් දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බව හෙළිවී ඇතැයිද අපරාධ පරික්ෂණ ලදපාතලන්තව දැනදී ඇත. එසේම, මෙම ඇමතුම් හා සම්බන්ධ වන ලෙක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාත්ත කුරේ මහතා 2012 දෙසැම්බර් 25 වැනිදා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇතැයි ආගමන  විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට  අදාළ විමර්ශන පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් ලබන මස 11 වැනිදා තෙක් නඩුව කල් තැබීය.  මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසා නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් දෙසැම්බර් මස 30 වැනිදාය.
(නිමන්ති රණසිංහ)