https://www.gossiplankanews.com/2020/01/beruwala-medical-student-jaffna-death.html
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියගේ ගෙල කපා ඇය මරා දැමීමට යොදාගත් පිහිය ඇගේ සෙබළ සැමියා විසින් රුපියල් 100කට පිටකොටුවෙන් මිලදී ගත් එකක් බවට පරික්ෂණවලදී හෙළිවී ඇතැයි යාපනය මුලස්ථාන පොලිසිය  පවසයි.  බේරුවල බඳනාගොඩ ජනපදයේ පදිංචිකාරියක වූ රෝෂිණි කංචනා (28) නමැති  වෛද්‍ය සිසුවියගේ
ඝාතන සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන බේරුවල තලවිල කන්දේගම පදිංචි මද්දුමගේ දොන් එරංග දිලිප් කුමාර (28) නමැති යුද හමුදා ලාන්ස් කෝප්‍රල් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මොහු යාපනය පරන්තන් හමුදා කඳවුරේ වෛද්‍ය බළකායේ වෛද්‍ය සහයකවරකු ලෙස රාජකාරි කළ පුද්ගලයෙකි.

ඔහු පසුගියදා නිවාඩුවට නිවසට පැමිණ සිටියදී උසාවියකින් සිතාසියක් ලැබී ඇති අතර තමාගෙන් දික්කසාද විමට බිරිය නඩුවක් පවරා  ඇති බව ඔහු දැන ගත්තේ ඒ අවස්ථාපෙදී යැයි කියයි. නිවාඩු අවසන්වි පරන්තන් ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරට රාජකරියට වාර්තා කිරිමට යෑමට බේරුවල සිට පිටකොටුවට පැමිණි අවස්ථාවේ ඔහු වෙළන්දකුගෙන් රුපියල් 100 කට මෙම පිහිය මිලදී ගෙන ඇතැයි කියති.

පරන්තන් බලා පැමිණි සැකකරු ඉකුත්දා (22) සිය බිරිඳ මුණගැසීමට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ළඟට ගොස් ඇය පිටතට පැමිණෙන තෙක් බලා සිට  තිබේ. බිරිය පිටතට පැමිණි අස්ථාවේ ඇයත් කැටිව සැකකරු යාපනය කළපුව ව්‍යයාම මං තීරුව ඔස්සේ කතා බස් කරමින් ඇවිද ගොස් ඇත. සැකකාර ලාන්ස් කෝප්‍රල් සිය බිරිඳගෙන් අයිස් ක්‍රීම් කමුදැයි කියා විමසා ඇති අතර ඇය අයිස්ක්‍රීම් කෑමට නොහැකි  බව පැවැසු බවත් ඊට පසු  සැකකරු තමාගෙන් දික්කසාද විමට අධිකරණයේ නඩු පැවැරුවේ ඇයිද කියා බිරිඳගේන් විමසා ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර ලාන්ස් කෝප්‍රල්ගෙන් ඝාතනයට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් අවස්ථාවේ ඔහු මෙම තොරතුරු සියල්ල හෙළි කළේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය. යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාගේ විශේෂ  උපදෙස් මත සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ යාපනය මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක  හර්ෂ සිල්වා මහතා

ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

වෛද්‍ය සිසුවිය ඝාතනය කර ඇත්තේ දික්කසාද නඩුවක් පැවැරිම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්විම දුරදිග යාමෙන් පසුව බවද පරික්ෂණවලින් අනාවරණය විණි යැයි පොලිසිය කියයි. දික්කසාද නොවී හොඳ පවුල් ජීවිතයක් ගත කරමු යැයි තමා බිරිඳට පැවැසු බවද ඔහු පොලිසියට කියා ඇත.  පිහියෙන් ඇනීමට සුදානම් වනවාත් සමඟ වෛද්‍ය සිසුවිය තමාව මරා නොදමන ලෙසට සැමියා ඉදිරියේ බැගෑපත් වෙමින් කෑගසා ඇති බවටද තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන ඇති බව පැවසේ.

ඝාතනයට ලක්වූ රෝෂණි කාංචනා පදිංචිව සිට ඇත්තේ සැකකරුගේ නිවසේ සිට කිලෝමීටර් 04ක පමණ දුරකිනි. සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමකදී මෙම තොරතුරුද අනාවරණය විණි යැයිද පොලිසිය කීය. දෙපාර්ශවයේම මවුපියන් ආශිර්වාදය මැද දෙදෙනා විවාහවි ඇත්තේ ඉකුත් 2017 වසරේදීය. විවාහ මංගල්‍යයට වැඩිපුර වියදම් කළේ තමා බව සැකකරු පොලිසියට ප්‍රකාශකර ඇති බවද දැන ගැනීමට ඇත. බිරිඳගේ මව ඇයට  (රෝෂණි) වෙනත් විවාහයක් කරදීමට උත්සාහ කරන බවට තමාට දැන ගැනීමට ලැබුණු බව ද සැකකරු පොලිසියට පවසා තිබෙන බව කියති.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-