කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තිය ඇරඹි චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි වුහාන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකේය සිසුන් යළි ගෙන්වා ගැනීම සඳහා කවදා, කුමන ආකාරයේ
ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රජය තවමත් එම සිසුන් වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් 32 දෙනෙකු

මේ වනවිටත් වුහාන් විශ්වවිද්‍යාලයේ රැඳී සිටින බවට වාර්තා වන අතර, යම් ලෙසකින් ආහාර හිඟයක් ඇති වුවහොත් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබාදෙන බවට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර තිබුණද, තමන් යළි මවු රටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනතුරු ඔවුහු බලා සිටිති.

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තම රටේ පුරවැසියන් වුහාන් වෙතින්, යළි සිය රට වෙත ගෙන්වා ගැනීම සඳහා දැනටමත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.

වුහාන් නගරය තුළ පසුගිය බ්‍රහස්පතින්දා දින සිට අත්හිටවනු ලැබූ පොදු ප්‍රවාහන සේවාවලට අමතරව, ඊයේ (26දා) දින සිට සියලු පෞද්ගලික රථවාහන ධාවනයද නවතා දමා තිබේ.

එහිදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යොදා ගන්නා රථවාහන නගරය තුළ ධාවනය කිරීම සඳහා අවසර ලබාදී ඇත.

චීන රජය මගින් දක්වන සංඛ්‍යා දත්තවලට අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති සංඛ්‍යාව මේ වනවිට 2,007ක් ලෙස වාර්තා වන අතර, මියගිය සංඛ්‍යාව 56කි. එමෙන්ම වෛරසය ආසාධිත වී සුවපත්ව නිවෙස් බලා ගිය සංඛ්‍යාව 96ක් වශයෙන් එම සංඛ්‍යා දත්තවල සඳහන් වෙයි.

ඊට අමතරව ලොව පුරා කොරෝනා වෛරසය වැළඳී ඇති ආසාධිතයන් සිටින රටවල් සංඛ්‍යාව 11ක් ලෙසත්, කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සිටින රටවල් සංඛ්‍යාව 08ක් වශයෙන්ද එම සංඛ්‍යා දත්තවල වැඩිදුරටත් සඳහන් වෙයි.

ඌෂා අරුණි (චීනයේ වූහාන් සිට)