වැඩ තහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් නිතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කැඳවා
ඒ තීරණය සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වැනි පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ
සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන් වේ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දිම සිකුරාදා (24) සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත.

නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.  තවද මෙවැනි නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් එල්ලවන බව මෙහිදී දීරිඝ වශයෙන්  සාකච්ඡාවට භාජනය වි තිබේ.

නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම් වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝග ද මෙහිදී ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවට ද මෙහිදී තීරණය කරන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදිමට කුමන්ත්‍රණය කළ බවට
විමර්ශන වාර්තා අනුව පෙනී යන හෙයින් ඔහුට එරෙහිව
වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස  නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ  කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබුණේ පසුගිය 23 වැනිදාය.

නීතිපතිවරයාගේ ඒ ක්‍රියාමාර්ගය ඉකුත් 24 වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදීත් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය. හිටපු අධිකරණ ඇමැති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ හා අමාත්‍ය විමල් විරවංශ මහත්වරුන් ද නීතීපතිවරයාගේ ඒ තීරණය මැතීසබයේ දී විවේචනය කළහ.  මේ අතර නීතිපතිවරයාගේ එම උපදේශය අධ්‍යයනය කර නිර්දේශ ලබාගැනීමට වැඩබලන පොලිස්පති සී.ඩී.  වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ඇතුළු පදෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද ඉකුත්දා පත්කරනු ලැබිය.

-සුජිත් හේවාජුලියගේ-