https://www.gossiplankanews.com/2019/12/sajith-ranil-operation-oppo-leader.html
මැතිවරණ පරාජයකින් පසුව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සුපුරුදු පරිදි හටගන්නා අර්බුදය මෙවර ජනාධිපතිවරණයෙන් පසුවද ඇතිවිය. වෙනදාට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ජයග්‍රහණයක් දෙමින් අවසන් වන අර්බුදය මෙවර අවසන් වූ‍යේ රනිල් වික්‍රමසිංහට අඩියක් පිටුපසට තැබීමට
සිදුවන තැනකින්ය. පක්ෂ නායකත්වය පමණක් තමන් අත තබා ගනිමින් විපක්ෂ නායකත්වය ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසට දීමට ඔහුට සිදුවිය. එහෙත් රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ අඩියක් පස්සට තැබුවේ ඇයිදැයි තවමත් එජාප මන්ත්‍රීවරුන්ට පැහැදිලි නැත.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පැමිණීමටත් පෙර මහින්ද රාජපක්ෂ සමග කතා බස් කළ රනිල් වික්‍රමසිංහ තමන් නැවත විපක්ෂ නායකත්වයට පත්වීමේ සූදානම දැනුම් දී තිබුණු බව සඳහන්ය. ඒ ජනාධිපති ධුරය ගෝඨාභය රාජපක්ෂ පත්වීම හේතුවෙන් ඇමැති මණ්ඩලයද ඔහුට අවශ්‍ය ආකාරයට පත් කිරීමට ඉඩ දෙමින්ය. තමන්ට හුරු පුරුදු ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ නොම්බර 30 දරන ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගොස් විපක්ෂයේ කටයුතු කිරීමට ඔහුට අවශ්‍ය විය. මේ නිසාම විපක්ෂ නායක කාර්යාලයේ යතුරුද තමන්ට දෙන්නැයි රනිල් ඉල්ලීමක් කර තිබුණේය.


කෙසේ වෙතත් මැතිවරණය අවසන් වූ වහාම සජිත් ප්‍රේමදාස සති කිහිපයක් නිහඬව සිටීමත්, තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවට ප්‍රතිඵල නිකුත් වීමට පෙර ඔහු දී තිබූ ඉඟි නිසාත් අර්බුදයකින් තොරව පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වය තමන් අත තබා ගැනීමටත් හැකි යැයි රනිල් වික්‍රමසිංහ විශ්වාස කළේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට සහාය දෙන මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ ඔහු නැවත සක්‍රිය දේශපාලනය ආරම්භ කළ යුතු බවය.

කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බවය. එහෙත් මැතිවරණයේද සජිත් ප්‍රේමදාස සමග සමීපව සිටි මන්ත්‍රීවරු ඒ යෝජනාවට විරුද්ධ වූහ. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ මන්ත්‍රීවරු පනස් හය දෙනෙක් අත්සන් කරමින් කථානායකවරයාට ලිපියක් යොමු කළේ සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටිමිනි. ඒ අතර මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි වෙනත් පක්ෂවල සිටින එක්සත් ජාතික පක්ෂයට සහාය දුන් පක්ෂ නායකයන් හා මනුෂ නානායක්කාර, විජිත් විජිත මුණි සොයිසා වැනි වෙනත් පක්ෂවලින් ඉදිරිපත්ව එහෙත් සජිත් ප්‍රේමදාස සමග සිටින මන්ත්‍රීවරු වෙන වෙනම ලිපි එවමින් විපක්ෂ නායකත්වය ගැන අදහස් දැක්වීය.

කථානායකවරයා මෙම පාර්ශ්ව දෙකෙන්ම ලැබුණු ලිපි සැලකිල්ලට ගනිමින් තීන්දුවක් ගත්තේය. මීට පෙර පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් වූ පක්ෂ මහ ලේකම්වරයාගේ ලිපිය ඔහු පිළිගත්තේය. ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තද කථානායකවරයා විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට නොදී ආර්. සම්බන්ධන්ට දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර දුන් ලිපිය අනුව සන්ධානයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ කණ්ඩායමක් බව කථානායකවරයා පිළිගත් නිසාය. කෙසේ නමුදු කථානායකවරයා මෙවර අකිල විරාජ් කාරියවසම්ගේ ලිපිය පිළිගන්නා බවට තොරතුරු ලැබුණු විට ඔහුට විරුද්ධව දේශපාලන මෙහෙයුමක් ආරම්භ කෙරිණි. මේ දේශපාලන මෙහෙයුම ආරම්භ කළේ මීට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ අජිත් පී.පෙරේරා ඇතුළු කණ්ඩායමකි. මීට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් තෝරා ගැනීමේදී අනුගමනය කර තිබෙන පූර්වාදර්ශ ගැන ඔහු අවධානය යොමු කළේය. අනුර බණ්ඩාරනායක කථානායකවරයා ලෙස කටයුතු කළ කාලයේදී විපක්ෂ නායකයා

තෝරාගන්නා ආකාරය ගැන අදහස් දක්වා තිබූ අතර එම අදහස් දැක්වීම් ඇතුළත් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල පිටපත් පාර්ලිමේන්තුවෙන් ගෙන්වා ගත්තේය.

මේ අතර කථානායකවරයාටත් තමන්ගේ ස්ථාවරය ප්‍රසිද්ධියට පත් නොකර විපක්ෂ නායකත්වය ගැන තීරණය ගැනීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය පිටම පැටවීමට තීරණය කළේය. ඒ අනුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එවා තිබෙන ලිපිය අකිල විරාජ් කාරියවසම්ට නැවත යැව්වේ පක්ෂය අභ්‍යන්තරයෙන්ම සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසටය.

​මේ ගැන සාකච්ඡා කිරීමට එන්නැයි කථානායක කරු ජයසූරිය රනිල් වික්‍රමසිංහට මෙන්ම සජිත් ප්‍රේමදාසටද දැනුම් දී තිබුණේ දැනට සති දෙකකට පෙරදීය. නියම කරගත් වේලාවට රනිල් වික්‍රමසිංහ කථානායක නිල නිවසට පැමිණියත් සජිත් එහි පැමිණියේ නැත. සජිත් එනතුරු පැය භාගයක් පමණ ඔවුන් බලා සිටියත් ඔවුන්ට සජිත්ගෙන් පණිවුඩයක් ලැබුණේ නැත. කථානායකවරයා සජිත්ට හිතවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට කතා කර සජිත් සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලුවත් දුරකථනයෙන් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

කෙසේ නමුත් ටික වේලාවකින් කථානායකවරයාට සජිත් දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ ඉම්ටියාස් බාකීර් මාකාර් හිටපු ඇමැතිවරයාගේ දුරකථනයෙන් ඇමතුමක් ගනිමිනි. කථානායකවරයාට සජිත් සෘජුවම කතා කරමින් දැනුම් දුන්නේ තමන් කිසි ලෙසකින්වත් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවලට පැමිණෙන්නේ නැති බවය. තමන් විපක්ෂ නායකත්වය මෙන්ම පක්ෂ නායකත්වය ගැනීමට සූදානම් නමුත් ඒ ගැන රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට ඔහුගේ කිසිදු සූදානමක් තිබුණේ නැත.

කෙසේ නමුත් සතියක් පමණ යන විට සජිත් ප්‍රේමදාසගේ දැඩි ස්ථාවරය කෙමෙන් මෘදු වන්නට විය. ඔහු රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවකට කැමැත්ත පළ කළේ ඔහු සමග සිටින දේශපාලන මිතුරන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුවය.


මේ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂවල නායකයන්ට දිවා භෝජන සංග්‍රහයක් සජිත් සූදානම් කර තිබුණි. ඔහු මේ දිවා භෝජන සංග්‍රහය සූදානම් කළේ තමන්ගේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරිමේ අරමුණ ඇතිවය. බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ ඉදිරි මැතිවරණය වන තෙක් රනිල් වික්‍රමසිංහට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවය. ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ හා පාඨලී චම්පික රණවක අතර පැවැති සාකච්ඡාවකදී තමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමේ සූදානමක් නොමැති බව සෘජුවම ප්‍රකාශ කර තිබීම නිසා මාස හතර පහක කාලයකට විපක්ෂ නායක ධුරය තබා ගැනීමේ අවස්ථාව දිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරය විය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ වගකීම් සජිත් ප්‍රේමදාස අතට පත් කළ යුතුය යන ස්ථාවරයේ සිටි ඔවුන් කී දේ සජිත් අසා සිටියා මිස තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළේ නැත. කෙසේ වෙතත් සජිත් කලින් සිටි ස්ථාවරය මේ සාකච්ඡාවලින් පසුව වෙනස් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

පසුගිය සිකුරාදා වන විට රනිල් වික්‍රමසිංහ හමු නොවීමේ ස්ථාවරය වෙනස් කරගෙන තිබුණත් පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වය යන දෙකම තමන්ට ලැබිය යුතුය යන ස්ථාවරය වෙනස් කරගෙන නොමැති බව පෙන්වා දුන්නේය. දැඩි ස්ථාවරයක සිට මෘදු ස්ථාවරයකට පැමිණි සජිත් ප්‍රේමදාස පසුගිය සිකුරාදා දිනයේදී රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණියේය. කරු ජයසූරිය, රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන තිදෙනා පමණක් සහභාගි වූ සාකච්ඡාවේදී සජිත් තමන්ගේ ස්ථාවරය සෘජුවම ප්‍රකාශයට පත් කළේය. තමන්ට පක්ෂ නායකත්වය මෙන්ම විපක්ෂ නායකත්වයද අවශ්‍ය බව සෘජුව ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස එසේ නොවන්නේ නම් තමන්ට ඉදිරියට යා නොහැකි බව කීවේය.

එහෙත් තමන්ගේ ස්ථාවරය පැහැදිලි නොකළ රනිල් වික්‍රමසිංහ කර තිබුණේ සජිත්ගේ ස්ථාවරය පක්ෂය හමුවේ තැබීමට එකඟ වීමය. පක්ෂය විසින් ගන්නා ඕනෑම තීරණයක් සමග තමන් එකඟවන බව දැනුම් දුන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකත්වය පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමේ තීන්දුවෙන් ගන්නවාට එකඟ විය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් කැඳවා විපක්ෂ නායකත්වය ගැන අවසන් තීරණයක් ගැනීමටත්, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා පක්ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීමටත් රනිල් කැමැත්තක් දැක්වූයේය.

එහෙත් රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබුණේ තමන්ට හිතවත් එක්සත් ජාතික පක්ෂ නායකයන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්ද යන්නයි. සජිත් ප්‍රේමදාස අතට පක්ෂයේ සියලුම බලතල ගියහොත් තමන්ට හිතවත්ව කටයුතු කළ කණ්ඩායමේ දේශපාලන අනාගතය අවිනිශ්චිත තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව රනිල්ගේ දැඩි අදහස විය. මේ නිසා පක්ෂ නායකත්වය තමන් අත තබාගෙන විපක්ෂ නායකත්වය පමණක් සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවය.

මේ ගැන සාකච්ඡා කිරීමට ඔහු තමන්ගේ හිතවත් දේශපාලනඥයන් කිහිප දෙනෙක් කැඳවාගත්තේය. ඔවුන්ද කියා තිබුණේ විපක්ෂ නායකත්වය දුන්නත් පක්ෂ නායකත්වය නොදිය යුතු බවය. ඉදිරි මහ මැතිවරණයකදී නාම යෝජනා දීම වැනි ගැටලුවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි යන්න එම කණ්ඩායම් අදහස විය.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ හටගත් අර්බුදය එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන අනෙකුත් දේශපාලන පක්ෂවලටද අභියෝගයක් වී තිබුණේය. මේ නිසා ඔවුන් තීරණය කළේ රනිල් වික්‍රමසිංහ සමග මේ පිළිබඳ සෘජුව සාකච්ඡා කිරීමටය. ඒ අනුව මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් හමුවී සාකච්ඡා කළේය. ඔවුන් තිදෙනා එකට හමුවී තීරණය කර තිබුනේ වෙන් වෙන්ව ගොස් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ යුතු බවය. ඔවුන් රනිල් වික්‍රමසිංහ හමුවීමට ගියේ පක්ෂ නායකත්වයත් සජිත් ප්‍රේමදාසට දෙන්නැයි ඉල්ලීම් කිරීමටය.

අවස්ථා තුනකදී හමුවූ මෙම පක්ෂ නායකයන් තිදෙනාට රනිල් වික්‍රමසිංහගෙන් ලැබී තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. පක්ෂ නායකත්වය පිළිබඳ ගැටලුව එක්සත් ජාතික පක්ෂයේ ගැටලුවක් නිසා එය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය විසින්ම විසඳාගනු ඇතැයි යන්න ඔහුගේ අදහස විය.

කෙසේ වෙතත් පසුගිය තුන් වැනිදා මේ ගැන අවසන් තීරණයක් පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතව තිබුණි. සඳුදා සවස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන තීරණයක් ගැනීමේ සූදානම තිබුණේය. කෙසේ වෙතත් මේ වන විට නවීන් දිසානායකටද පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් වැඩි වගකීම් පැවරෙමින් තිබුණි. තුන්වැනිදා විපක්ෂ නායකත්වය සම්බන්ධ තීරණය ගැනීමට නොහැකි විය. ඒ ජනාධිපතිවරයා විසින් හදිසියේම පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම නිසාය.

මේ නිසා දිග් ගැස්සුන ප්‍රශ්නය ගැන තීරණය කිරීම සඳහා බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ කැඳවූයේය. බ්‍රහස්පතින්දා උදෑසන සජිත් ප්‍රේමදාස තමන්ට හිතවත් මන්ත්‍රී කණ්ඩායම කැඳවීය. ඊට පෙර රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නිවසට රැස්වී ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කළ ඔවුන් බ්‍රහස්පතින්දා උදෑසන හමුවී පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වය යන දෙකම ගන්නවාද, නැතිනම් විපක්ෂ නායකත්වයෙන් පමණක් සෑහීමකට පත් වනවාද යන්න ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

එම සාකච්ඡා එක පැත්තකින් යන අතර රනිල් වික්‍රමසිංහ තමන්ට හිතවත් මන්ත්‍රීවරු ඔහුගේ නිවසට කැඳවා ගත්තේය. ඒ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමටය. පක්ෂ නායකත්වය මෙන්ම විපක්ෂ නායකත්වයත් රනිල් වික්‍රමසිංහ සතුව තබා ගත යුතු බව ඇතැම් අයගේ අදහස වූ නමුත් රනිල් වික්‍රමසිංහ කීවේ තමන් විපක්ෂ නායකත්වය අතහැරීමට සූදානම් බවය. එහෙත් කිසි ලෙසකින්වත් පක්ෂ නායකත්වය අතහැරීමට සූදානම් නැති බව ඔහු සෘජුවම ප්‍රකාශ කළේය. කිසිම තත්ත්වයක් මත දැනට තමන් දරන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ හෝ වෙනත් අයෙක්ට පක්ෂ නායකත්වය ලබාදීමේ සූදානමක් නොමැති බව ඔහු පැහැදිලිවම සඳහන් කළේය.

මේ සඳහන් කිරීම කරමින් ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවීමට ගියේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් පැවැත්වෙන ශාලාවට සජිත් ප්‍රේමදාස කල් ඇතිවම පැමිණ සිටියේය. කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි ඔහු පසුපස පේළියක අසුන් ගත්තේය. බුද්ධික පතිරණ, අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු ඔහු අසල සිටිමින් කතා කරමින් සිටියහ. ටික වේලාවකින් රනිල් වික්‍රමසිංහ එහි පැමිණියේය.

රනිල් වික්‍රමසිංහ එහි පැමිණීමට පෙර පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙසක් දුන්නේය. ඒ කථානායකවරයාට ලිපියක් ලියන ලෙසය. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයට පත් කරන ලෙස ඉල්ලා සිටිමින් ලිපිය සූදානම් කරගත් රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවට පැමිණියේය. ඔහු එහි පැමිණ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයට යෝජනා කළේය. එහෙත් පක්ෂ නායකත්වය ගැන ඔහු පැහැදිලි අදහසක් දක්වා තිබුණේ නැත.

විපක්ෂ නායක ධුරයෙන් දැනට සජිත්ට සෑහීමකට පත්වීමට සිදුව තිබේ. නමුත් තවමත් විපක්ෂ නායක ධුරයේ වැඩ භාරගන්නා දිනයක් ගැන තීරණයක් ගෙන නැත. මේ තීරණය ගන්නා අවස්ථාව වන විට තමන් අතට ගෙන තිබූ විපක්ෂ නායක කාර්යාලයේ යතුරුද නැවත භාරදී තිබුණි. විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාරගැනීම කල් යමින් තිබෙන්නේ විපක්ෂ නායක ලේකම්වරයෙක් පත්කිරීමට තිබෙන නිසාය.

කෙසේ නමුත් නැවත වරක් පාර්ලිමේන්තුව රැස්වන්නේ ජනවාරි මස තුන්වැනිදාය. ජනවාරි 3 වැනිදා සජිත් ප්‍රේමදාස පාර්ලි​මේන්තුවේ විපක්ෂ නායක පුටුවේ අසුන් ගැනීමට නියමිතය. නමුත් ඔහුට ඊට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාරගැනීමට හැකිය. ඒ දිනය බොහෝ විට ජනවාරි 3 වැනිදාට පෙර දිනයක් වනු ඇත.

කෙසේ නමුදු සජිත්ගේ පාර්ශ්වයේ සටන විපක්ෂ නායක ධුරය ලැබුණ පමණින් අවසන් වන බවත් පෙනෙන්නට නැත. ඔවුන් රනිල්ගෙන් ඉල්ලන්නේ මස් රාත්තලමය. ඒ අනුව දැනට තාවකාලික සටන් විරාමයක් තිබුණද මහ යුද්ධය ඇරඹෙන දිනය වැඩි ඈතක නැත.


සංජය නල්ලපෙරුම