ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් පෞද්ගලික සමාගමකට අයත් රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එම ආයතනයේ සේවය කළ ගණකාධිකාරිවරයකුට කොළඹ
මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් ඊයේ (06) බරපතළ වැඩ සහිත වසර 367 සිරදඬුවම් නියම කරන ලදී. සමාජයේ සිටින අනෙකුත් වංචාකාරී පුද්ගලයන්ටද ආදර්ශයක් විය හැකි ආකාරයෙන් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 21ක දඩයක්ද නියම කරනු ලැබීය.

සිරදඬුවම් නියම වී සිටින හික්කඩුව ලියනගේ නන්දසිරි නමැති විත්තිකරු මේ වන විට අධිකරණ්‍ මග හැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදී.

2000 වසරේ ජනවාරි මස 4 වනදා සහ 2001 වසරේ ජනවාරි මස 3 වනදා අතර කාලසීමාව K Sports නමැති පුද්ගලික සමාගමේ ගණකාධිකාරීවරයකු ලෙස සේවය කළ විත්තිකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එම ආයතනයට රුපියල් 2199130/-ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 19ක් යටතේ නඩු පවරා තිබුණි.

නඩු විභාගය අතරතුරදී විත්තිකරු අධිකරණය මග හැර පලා ගොස් සිටි අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සියල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන ලදී.