https://www.gossiplankanews.com/2019/12/cid-rajitha-unedited-sceens.html
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය 02 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සියලු සංස්කරණය නොකළ දර්ශන
අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන මෙන් සියලු මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (05දා) නියෝග කළාය.

ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මඟින් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවා තිබිණි.      

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය පැහැර ගැනීමකට ලක්වූ බව කියන සිද්ධිය පිළිබඳව මේ වනවිට විමර්ශන සිදුකරන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු

මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු විසින් මේ පැහැරගෙන යෑමේ සිද්ධිය හා එම පැහැර ගැනීමට ලක් වූ කාන්තාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමක් සිදුකරගෙන ඇති බවට පෙනී යන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙතෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර කාන්තාව වන ගානියා බැනිස්ටර් ෆැන්සිස් යන අය විසින් ප්‍රකාශයක් ලබා දී නොමැති අවස්ථාවක, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා
මඟින් මෙම කාන්තාවට සිදුවූ දේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඉහත සඳහන්
මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අවශ්‍ය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහෙස්ත්‍රාත්වරිය මේ පිළිබඳව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා සිටියාය.

මහෙස්ත්‍රාත්වරිය: එම සාකච්ඡාවේදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ කුමක්ද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: “එම පැහැර ගැනීමට ලක් වූ කාන්තාව පැහැදිලි ලෙසම බයවෙලා
ඉන්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන්” යනුවෙන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබෙනවා ස්වාමිනී.
මහෙස්ත්‍රාත්වරිය: මේ පිළිබඳව කෙළින්ම ගොස්  මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තෙ නැත්තේ ඇයි?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:  අපට මුලින්ම එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන
විමර්ශනය කිරීමට අවශ්‍ය වෙනවා ස්වාමිනී. එම විමර්ශනයෙන් පසුව අප එම මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශ
ලබා ගැනීමට නියමිතයි.
මහෙස්ත්‍රාත්වරිය: එම කාන්තාවට ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත
පැමිණෙන ලෙස දන්වා අදාළ නොතීසි බාර දුන්නාද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අපි එම ලිපි භාර දුන්නා ස්වාමිනී.
මහෙස්ත්‍රාත්වරිය: දැනට මෙම තැනැත්තිය සිටින ස්ථානය පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවාද?
අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව:  නැත ස්වාමිනී.
මහෙස්ත්‍රාත්වරිය: ඔබලා ඇයගේ පදිංචි නිවෙසට ගොස් බැලුවාද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:  ඔව් ස්වාමිනී. අප ඇයගේ නිවෙසට ගොස් බැලුවා. නිවෙස වසා තිබුණා.
මහෙස්ත්‍රාත්වරිය: කවුරුත් නිවෙසේ හිටියාද? කවුද පැවැසුවේ ඔවුන් නිවෙසේ නෑ කියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:  එම නිවාස සංකීර්ණයේ මුරකරු සිටියා. ඔහු පැවැසුවා පසුගිය 27
වැනිදායින් පසුව නිවෙසේ සිටි අය ගියා කියා.
ඔවුන් රට යනවා කියා ගියේ කියා මුරකරු පැවැසුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා  මේ අවස්ථාවේ
අධිකරණය හමුවේ පෙනී සිටියේය.
වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.
පසුගිය 25 වැනිදා ශ්‍රී  ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක් පැහැරගෙන
ගොස් ලිංගික අතවර කර පහරදී නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබා දීම පිළිබඳව ප්‍රශ්න කර පැය
කිහිපයක් රඳවා තබාගෙන මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය
නොවැම්බර් මස 27 වැනිදා පැමිණිල්ලක් ලැබී තිබිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.

මෙම පැහැරගැනීමට ලක් වූ බව කියන කාන්තාව එදින සිය දරුවාගේ පාසල වෙත යන අතරතුර මෙම
පැහැර ගැනීමට ලක් වී ඇති බව එම පැමිණිල්ලේ සටහන් වී තිබිණි.

හංසි නානායක්කාර