සම්මුඛ පරීක්ෂණ සහ බඳවාගැනීමේ ක්‍රියාවලියේ ගැටලු සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට
විදේශීය සිසුන් බඳවාගැනීමට හිටපු උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බව පූජ්‍ය
පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

පෙරේදා (04දා) මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර පොලිස් මූලස්ථානයට
පැමිණිල්ලක් භාරදීමට  පැමිණි හිමියෝ මේ බව කීහ. පසුගිය රජය පැවැති සමයේ මේ පිළිබඳව දිගින්
දිගටම පැමිණිලි කළද, ඒ පිළිබඳව අදාළ අංශ කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවද සඳහන් කළහ.

එමෙන්ම රාගම වෛද්‍ය පීඨයට කථන හා ශ්‍රවණ සිසුන් ඇතුළත් කරගැනීමේදී ද මූලික පරීක්ෂණය අසමත්
පිරිසක්ද ජාතිවාදී පදනම මත බඳවාගැනීමට කටයුතු කළ බවට මීට මාස හයකට පෙර අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල පිළිබඳවද මූලික විමර්ශනයක් හෝ සිදුනොවීම ගැනද වැඩබලන
පොලිස්පතිවරයා දැනුවත් කළ බවත්, සියලු විමර්ශන කඩිනමින් කර විධිමත් ක්‍රමවේදයට අනුව වැරදිකරුවන්
නීතිය හමුවට ගෙන එන බවට එහිදී වැඩබලන පොලිස්පතිවරයා පොරොන්දු වූ බවද හිමියෝ අවධාරණය කළහ.

පසුගිය සමයේ රටේ පරිසරයට, ජාතික සම්පත්වලට, ජාතික දේපළට, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර
ගණනාවකට ජාතිවාදී පදනමෙන් සිදුවූ විනාශයන් සියල්ලට වගකිවයුත්තන්ට දඬුවම් දියයුතු බවත් ඒ වෙනුවෙන්
ජාතික සංවිධාන සහයෝගය දක්වන බවත් හිමියෝ වැඩිදුරටත් කීහ.

මෙම අවස්ථාවට එක්වූ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස්්
මහතාද මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.

“පසුගිය ආණ්ඩුව කාලේ කොළඹ සහ රාගම ඇතුළු වෛද්‍ය පීඨවලට සිසුන් බඳවාගද්දී බරපතළ මූල්‍ය
අක්‍රමිකතා වෙලා තියෙනවා.”

“රාගම වෛද්‍ය පීඨයේ කථන හා ශ්‍රවණ පීඨයන්ට සිසුන් 24 දෙනකු බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය
කරලා. ජාතිවාදී පදනම මත බඳවාගන්න හිටපු ඇමැති රවුෆ් හකීම් කටයුතු කළා. අපි මේ ගැන පැමිණිලි
කළත් ඔවුන්ට විරුද්ධව පියවරක් ගත්තේ නෑ.”

“ රටේ නැති ප්‍රශ්න ඇති කරලා රට අර්බුදයකට පත්කරපු, හොරකම්, ජඩ වැඩ ඔස්සේ අන්තවාදයට රට
තල්ලු කරපු, රටේ ආරක්ෂාව, අධ්‍යාපනය, විනාශ කරන්න කටයුතු කරපු මෙවැනි පිරිස්වලට තරාතිරම
නොබලා දඬුවම් දෙන්න ඕන”

“විශේෂයෙන්ම කියන්න ඕන, පහුගිය කාලේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ත්‍රස්තවාදීන් යටතට
පත්වීමත් සිදුවුණා. මේ වෙනුවෙන් මුදල් යොදවන තානාපති කාර්යාල තියෙනවා. ඉදිරියේදී මෙවැනි
සංවිධානාත්මකව සිදුවන රටට හානිදායී ක්‍රියා වැළැක්වීමට වගකිවයුත්තන් ක්‍රියා කළ යුතුයි.”

බටහිර තානාපති කාර්යාල ගෙනයන ශිෂ්ට සම්පන්න සමාජයන් අනුමත නොකරන ක්‍රියාවකට උදාහරණ
සපයන ක්‍රියාකාරකමක් පසුගිය දින කිහිපයේ ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියන් සම්බන්ධ කරගනිමින්
නාටකයක් අනුසාරයෙන් රඟ දක්වමින් සිටින බවත්, සෙසු බටහිර රටවල්වලින් මේ තත්ත්වය විනිවිදභාවයකින්
යුතුව සලකා බලා රාජතාන්ත්‍රික සබඳතා පවත්වන ලෙස ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා සිය පෞද්ගලික ආරක්ෂාව ඉවත්කරගැනීම පිළිබඳවද මාධ්‍යවේදීන්
හිමියන්ගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් හිමියන් පැවැසූවේ රටේ ආරක්ෂාව පිළිබඳව මනා
තක්සේරුවක් ඇති පුද්ගලයකු බලයට පත්ව ඇති විට රටේ ආරක්ෂාව තහවුරු වන බවත්, එවිට ජනාධිපතිවරයාට
අමතර ආරක්ෂාවක් අනවශ්‍ය බවයි.

රුවන්ත නිතුල්ගස්පිටිය
ඡායාරූප - උදිත ඒකනායක