තමන්ට රුපියල් ලක්‍ෂ තිහක් දෙන ලෙස ඉල්ලා මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවෙසෙන
හිමිනමකට තර්ජනය කළ බව කියන සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එච්.යූ.කේ. පැල්පොල මහතා මහරගම
පොලිසියට නියෝග කළේය.

මුහුණු පොත මඟින් ඉහත කී හිමිනම හඳුනාගෙන ඇති එකී සැකකාර පුද්ගලයා පසුගිය දිනක රාත්‍රි 7.00ට පමණ එම විහාරස්ථානය වෙත පැමිණ හිමිනමට

තර්ජනය කර රුපියල් තිස්ලක්‍ෂයක මුදලක් ඉල්ලා ඇති බව ද අනාවරණය  වෙයි.

 සිද්ධියෙන් බියට පත් හිමිනම උන්වහන්සේ සතුව තිබූ රුපියල් ලක්‍ෂදෙකකට ආසන්න මුදලක් සැකකාර
පුද්ගලයාට ලබා දී ඇති බවත් එය රැගෙන ගිය සැකකාර පුද්ගලයා නැවත වතාවක් එකී හිමිනමට
දුරකථනයෙන් අමතා රුපියල් ලක්‍ෂ පහක් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

ලබාදීමට තරම් එතරම් මුදලක් තමා සතුව නොමැති බව එම ස්වාමීන් වහන්සේ සැකකාර පුද්ගලයාට දන්වා ඇති නමුත් ඔහු ජංගම දුරකථනය මඟින් එකී ස්වාමීන් වහන්සේට නිතර නිතර තර්ජනය කර ඇති බවත් ඉන් බියට පත් එකී ස්වාමීන් වහන්සේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇති බව ද මහරගම පොලිසිය අධිකරණයට දැන්වීය.
 මධුසංක සේනාධීර නමැති පුද්ගලයෙක් එකී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවසර දෙන ලෙස මහරගම පොලිසිය කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර ලැබිණි.
කුමුදු උපුල් ශාන්ත