https://www.gossiplankanews.com/2019/12/caroline-husband-speaks.html
ලෝක විවාහක රූ රැජන තරගය මෙවර පවත්වන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවරදීය. ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් රූමත් තරගකාරියෝ 51 දෙනෙක් ඒ සඳහා සහභාගි වූහ.විවාහක ලෝක රූ රැජන තරගය සඳහා මෙවර ශ්‍රී  ලංකාව නියෝජනය කළ කැරොලින්
ජූරි ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති තරගයෙන් ශ්‍රී  ලංකාවේ විවාහක රූ රැජන ලෙස කිරුළ දිනාගනිමින්ය. එම ජයග්‍රහණය සඳහා දෛවයට වඩා ඇයගේ ධෛර්යය ඇයට උදවු කළ සෙයකි.

1992 වසරේ උපන් කැරොලින් ජූරි කදාන, සාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය
හැදෑරුවාය. ඇය වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පිනියක නොවුණද අවස්ථා කිහිපයකදී පමණක් එවැනි නිරූපණ කාර්යයන්ට එක්වී සිටියාය.


ඉන් පසුව ඇය රැකියාවක් සඳහා ඩුබායි රටට ගියාය. එහිදී කැරොලින් ජූරි මෙනෙවිය අලෙවි කළමනාකරණ
අංශයේ රැකියාවක නිරත වූවාය. ඇයට සිය අනාගත සහකරුවා හමුවන්නේ එහිදීය. නිශාන්ත දීපාල් නම් වූ
ඔහු ඒ පිළිබඳ සිහිපත් කළේ මෙලෙසින්ය.

‘මමත් කදාන සෙබස්තියන් බාලක විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ. ඒත් බාලිකා විද්‍යාලයේ ඉගෙනගත් ඇය මට හමුවෙලා නැහැ. මම ඩුබායිවල වෙළෙඳ කළමනාකරුවකු ලෙස සේවය කරමින් ඉන්න කොට තමයි 2016දී ඇය හමු වුණේ. ඉන් පසුව අපි 2017 දී විවාහ වුණා” ඔහු කීවේය.

නිශාන්ත දීපාල් සහ කැරොලින් ජූරිගේ කැදැල්ලට පසුව සිඟිති දියණියක්ද එක්වූවාය. එලීසා කැරොලින්
නමැති එම දියණිය දෙහැවිරිදි වියෙහි පසුවන්නීය.

විවාහයෙන් පසුව ශ්‍රී  ලංකාවේ සිටි කැරොලින් ජූරිට විවාහක රූ රැජන තරගය සඳහා සහභාගි වීමට
කැමැත්තක් ඇති විය. තමන් ඊට කැමැත්ත දුන් බව නිශාන්ත දීපාල් කියයි. ජනප්‍රිය රූපලාවණ්‍ය  ශිල්පී
චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ එම ශ්‍රී  ලාංකේය විවාහක රූ රැජන තරගයේ 2019 කිරුළ දිනාගත්
නිසා විවාහක ලෝක රූ රැජන තරගය සඳහා සහභාගි වීමට ඇය සුදුසුකම් ලැබුවාය.

‘ඇය තරගයට යන්න සූදානම වුණත් ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් වීසා ලබාදීම දෙවරක්ම
ප්‍රතික්ෂේප කළා. තුන්වැනි වර තමයි වීසා ලැබුණේ. ඒ නිසා දවස් දෙකක් ප්‍රමාද වෙලයි ඇය
ඇමෙරිකාවට ගියේ. වීසා නොලැබීම ගැන ඇය දුක්වුණා. ඒත් තරගයට සහභාගි වන්න ඕන කියන ආශාවෙන්
සිටියා”

කැරොලින් ජූරිගේ ජයග්‍රහණය පිටුපස ඇයට තිබුණු බාධක පිළිබඳ එසේ සිහිපත් කළේ ඇයගේ ස්වාමිපුරුෂයා
වන නිශාන්ත දීපාල්ය. 1984දී රෝසි සේනානායක විවාහක ලෝක රූ රැජන ලෙස පත්වී ගෙවී ගිය කාලය මුළුල්ලේම එම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වී නැත.
ඒ අනුව බලන විට කැරොලින් ජූරිට තරගයට මුහුණදීමේදී පවා ඇති අභියෝගය සුළුපටු නොවීය.

තරග වට කිහිපයකින් යුතු එම තරගයේදී ශ්‍රී  ලාංකික සංස්කෘතිය විදහා දක්වන ඇඳුමින් සැරසී සිටිය යුතු
අවස්ථාවක් ද ඇයට විය. ඒ සඳහා ඇය සූදානම් වී සිටියේ සාම්ප්‍රදායික වෙස් මුහුණු හා සම්බන්ධ
ඇඳුමකි. එම ඇඳුමද තෝරා ගැනීම කැරොලින් ජූරිට ඉදිරි වටවලට යෑමට ප්‍රබල රුකුලක් විය.


එමෙන්ම අවසන් තිදෙනාගේ තරග වටයේදී තරගකාරියන්ගේ බලාපොරොත්තු පිළිබඳ විමසනු ලැබූහ. එහිදී ඇය
දුන් පිළිතුර විනිශ්චය මණ්ඩලයේ ප්‍රසාදයට මෙන්ම ඇගයීමටද හේතු විය.

“ආදරය මඟහැරිලා ළමයින්ට හිංසා සිදුවෙනවා. ඔවුන් ඉන් මුදාගන්න, ඔවුන්ට ආදරය දෙන්න මම
බලාපොරොත්තු වෙනවා” කැරොලින් ජූරි පැවැසුවේ එවැනි දයාබරිත අදහසකි.

පසුගිය සිකුරාදා (6දා) පැවැති අවසන් වටයේ තරගයෙන් ද ජයග්‍රහණය කරමින් කැරොලින් ජූරි 2019
විවාහක රූ රැජන ලෙස අබිසෙස් ලැබුවාය. ඒ අවසන් වටයට තරග කළ අයර්ලන්ත හා වර්ජින් දූපත්
තරගකාරියන් දෙවැනි සහ තෙවැනි ස්ථාන දක්වා පසුබස්වමින්ය.

“මම පොඩි කාලෙ හුඟක් කරදරවලට මුහුණ දුන් කෙනෙක්. ඒ නිසාම මට විශාදය කියන රෝගී තත්ත්වයත්
හැදී තිබුණා. එහි ප්‍රතිඵලයක් විධියට ජීවිතය ගැන පසුතැවීම්ද මට තිබුණා.

ඉතින් ඒ නිසා මම මගේ ඉදිරි වසරක කාලය තුළ ලෝක විවාහක රූ රැජන විධියට ලෝකය පුරා වෛරය හා
ආතතිය නිසා මානසික පසුබෑමෙන් සිටින දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් මගේ
සේවය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.”

සිය ජයග්‍රහණයෙන් පසුව කැරොලින් ජූරි සිදුකළ එම ප්‍රකාශය ලොව පුරා අවධානයට ලක්වන්නට තරම්
ප්‍රබල විය. ඒ වෙනුවෙන් ඇයට සුබ පැතුම් ගලා එන්නටද වූහ. සිය ජීවිත අභියෝගය යනු ජයග්‍රහණයෙන්
කෙළවර විය යුතු ඉලක්කයක් ලෙස සැලකූ ඇයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය මුහුණු පොතෙහි සටහනක් තබා  තිබිණි.

“වසර 35කට පසුව කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජන වෙමින් ශ්‍රී  ලාංකිකයන්ට ආඩම්බරයක් එක්
කළා. ඇයට ස්තුතිවන්ත වෙනවා” යැයි එම සුබ පැතුමේ සඳහන් කර තිබිණි.

ලෝක රූ රැජනියන් ලෙස එක්වරකට වඩා වැඩි වාර ගණනක් කිරුළ පලන් රටවල් හතර අතරට ශ්‍රී
 ලංකාවද එක් කරන්නට කැරොලින් ජූරිට හැකිවිය. ඒ රෝසි සේනානායක මීට ඉහතදී දිනාගත් එම කිරුළද
සමඟින්ය.

“රත්රන් දුවේ කොහොම හරි දුවේ රටට කිරුළ අරගෙනම තමයි ආපසු එන්නේ දුව බලන්න.” නිවෙසින් නික්ම
යන්නට පෙර තම දියණිය හා සැමියා සිප ගනිමින් පැවැසුවේ දැඩි අධිෂ්ඨානයෙනි. මේ දිරිය දියණිය එම
අභියෝගය ජයගත්තේ අප රටට ද කීර්තියක් හිමිකර දෙමිනි.

2019 ලෝක විවාහක රූ රැජන ලෙස කැරොලින් ජූරිට මෙවර කිරුළ පැලඳවන ලද්දේ 2018 දී එම කිරුළ
දිනාගත් වියට්නාමයේ ජෙනිෆර් ලී විසින් වීමද විශේෂ සිදුවීමක් විය.

කැරොලින් අප මවුබිමට අත්කර දුන් යසස ගැන අපේ ප්‍රකට කිවිඳියක වන ශ්‍රියා හිඳුරංගල මෙවැනි
පද්‍ය සටහනක් මුහුණු පොතේ තබා තිබිණි.

කැරොලින් ජූරි
පනස් එකකින් බේරී
දේහයෙන් නාරි
ජය ලැබුවා කිරුළ දාරී

එම කිරුළෙහි අභිෂේකයත් සමඟ කැරොලින් ජූරි මහත්මිය හෙට (10දා) ශ්‍රී  ලංකාවට පැමිණීමට
නියමිතය. ශ්‍රී  ලාංකේය අභිමානය ඔසවා තැබූ එම දිරිය කතට සුබපැතුම්!


දෙනගම ධම්මික රණවීර