https://www.gossiplankanews.com/2019/12/anuradapura-mother-death.html#more
පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට පොළොන්නරුව රජයේ මහ රෝහලට ඇතුළත් වූ තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිළිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඔෟෂධ එන්නතක් ශරීර ගතකිරීමෙන් බරපතළ ලෙස රෝගාතුරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉතා
අවසනාවන්ත අන්දමින් පෙරේදා (04දා) සවස ජීවිතක්ෂයට පත්වූවාය.
පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි
52 හැවිරිදි තිදරු මවක වූ මානෙල් කුමාරි
අමරකෝන් මහත්මිය පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් රාජකාරි සිදුකිරීම හමුවේ සිය දිවිය පෙරේදා (04දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් කළාය.


රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට ගිය ඇයගේ  එක් පාදයක
විළුඹ ප්‍රදේශයෙන් කපා ඉවත් කර තිබූ අතර එම තුවාලය සඳහා  ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයට
යාබද  ඇඳේ සිටි පියයුරු පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටි රෝගී කාන්තාවකට ලබාදෙන ඔෟෂධ එන්නතක්
වැරදි අන්දමින් ශරීරගත කිරීම නිසා රෝගී තත්ත්වයට පත්වී වැඩිදුර ප්‍රතිකාර සඳහා  අනුරාධපුර ශික්ෂණ
රෝහලට යොමුකර තිබුණාය.

පාදයේ තුවාලයට ප්‍රතිකාර සඳහා ඉතා හොඳ ශරීර  තත්ත්වයකින් පොළොන්නරුව රෝහලට ගිය ඇයට
පිළිකා මර්දන එන්නත එල්ල කිරීමෙන් පසුව ඇටසැකිල්ලක් තත්ත්වයට පත්වී ශ්වසන අපහසුතාවට පත්වීම  නිසා කෘත්‍රිම ශ්වසනය ලබාදෙන තත්ත්වයට පත්ව සිටියාය. සිය මවගේ මරණයට හේතුව පොළොන්නරුව රජයේ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නිරතවූවන්ගේ දැඩි නොසැලකිල්ල බව ඇගේ පුත්‍රයා පැවැසුවේය.

'අම්මව මුලින්ම රෝහලට ඇතුළත් කළේ ලයිටරයක් පුපුරලා පාදයේ තිබ්බ සුළු තුවාලයක් සුවනොවීම නිසයි.
එම තුවාලයට ප්‍රතිකාර සඳහා ශල්‍යකර්මයක් සිදුකළා. ඒ ශල්‍යකර්මයත් වැරදි විදියට කරලා
අම්මාගේ පාදයේ යටි පතුලේ තිබ්බ ගල්තැළුමත් එක්කම විළුඹෙන් කොටසක්ම අනවශ්‍ය විදියට කපලා
ඉවත්කර තිබ්බා. ඒ තුවාලය සුවනොවීම නිසා අම්මා හුඟක් පීඩා වින්දා.  පස්සේ අම්මාගේ කකුල කපන
තත්ත්වයට ආපු නිසා තාත්තා හුඟක් මහන්සිවෙලා ඒ තත්ත්වය මඟහැර ගන්නට උත්සාහ ගත්තා. මහනුවර
ගෙනිහිල්ලා පාදය පෙන්නලා හුඟක්  සුවකර ගත්තා නමුත් තුවාලය සම්පූර්ණයෙන්ම සුවනොවීම නිසා තමයි නැවතත් අම්මව පොළොන්නරුව රෝහලට ඇතුළත් කළේ.
 ඒ අතරතුරේදී  තමයි අම්මට යාබද  ඇඳේ හිටපු පියයුරු පිළිකා රෝගී කාන්තාවට දෙන එන්නත විදලා
තියෙන්නේ. ඒ අතරතුරේ  අම්මට වැරදිලා එන්නත විද්ද බව වාට්ටු අංක තුනේ සේවය කරපු හෙදියක්
තාත්තා ඉන්න තැනම වැරදිලා කියලා තිබ්බා.


සර් ලියපු බෙහෙතේ අකුරු දෙකක් වැරදිච්චි නිසානේ මේ ඔක්කොම වුණේ කියලා. ඒ වාට්ටුවේ එදා
සේවයේ නියුතු වූ සියලුම දෙනා දන්නවා අම්මට සිද්ධකරපු අපරාධය මොකක්ද කියලා.

අම්මට එන්නත දුන්නට පස්සේ මුත්‍රා මාර්ගයෙන් හා පිටුපසින් දුම්දානවා, පුදුම දැවිල්ලක් තියෙනවා
කියලා තාත්තට කියලා තිබ්බා.  මුළු ඇඟම  දනවා කියලා තිබ්බා.  අම්මට බෙහෙත විද්දට පස්සේ එයා
හිටපු ඇඳේ කොට්ට මෙට්ට පවා ඉක්මනින් අයින්කරලා. අම්මා ඒ ස්ථානයෙන් ඉවත්කළාට පස්සේ නර්ස්
කෙනෙක් ඇවිල්ලා අහලා තියෙනවා ලෙඩා මැරුණාද කියලා. අම්මට මේක ඇහිලා අම්මා බැනලා
තියෙනවා තාම මැරුණේ නෑ ඉන්නවා කියලා.

තාත්තා අම්ම බලන්න ගියපු දවසක වාට්ටු කාර්ය මණ්ඩලය කියලා තියෙනවා එයා හිටපු ඇඳේ කොට්ට
මෙට්ට අයින් කළේ බැක්ටීරියාවක් ආපු නිසා කියලා. ඒ අය කරපු වැරැද්ද වහගන්න විවිධ බොරු, විවිධ
මනස්ගාත, මැව්වා. නමුත් ඔවුන්ගේ කටවල්වලින් කියවුණා අම්මට වැරදි පිළිකා බෙහෙතක් සහිත එන්නතක්
දුන්නා කියලා. අම්මට මැරෙන්න ලෙඩක් තිබ්බේ නෑ. අම්මව එන්නතක් විදලා මරලා දැම්මා.

වැරදි එන්නතින් පස්සේ අම්මාට ෆිට් එක හැදුණා. අම්මගේ මොළේ ස්නායු  මැරිලා කියලා අනුරාධපුර
රොහලේ වෛද්‍යවරු පරික්ෂා කරලා කිව්වා. තුවාල නිසා ප්‍රතිකාර ගන්න හොඳට  රෝහලට ආපු අම්මගේ
 ශරීරයේ ඇටකටු මතුවුණා. ඒවා එකින් එක ගලවන්න පුළුවන් තත්ත්වයට පත්වුණා. කෑමක් බීමක් ගන්න
බැරිවුණා. කිසිම සැලකිල්ලක් නැතිව අවස්ථා කිහිපයක්ම අම්මට ප්‍රතිකාර කරපු පොළොන්නරුව රෝහලේ
වාට්ටු අංක තුනේ කාර්ය මණ්ඩලය නිසා එයා අපිව තනිකරලා යන්නම ගියා” යනුවෙන් ඔහු පැවැසුවේය.

සිය බිරියට වැරදි එන්නතක් ශරීර ගතකිරීම සම්බන්ධව අදාළ වාට්ටුවේ වෛද්‍යවරුන්ට සැමියා විසින්
‍ෙදාස් නඟා තිබූ අතර ඒ සම්බන්ධයෙන් වහාම විනය පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය
අමාත්‍යවරයා, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ලිඛිතව පැමිණිලි
ඉදිරිපත් කරන බව මරණකාරියගේ සැමියා පැවැසුවේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය