නීති විරෝධී ජාවාරම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන තුරු මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවනු ලැබ සිටින  විදේශිකයන් අතර සිටි නයිජිරියානු ජාතිකයන් තිස් දෙනකු
අතුරුදන් වී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (5) පෙරවරුවේ පැය දෙකක පමණ කාලයක් පුරා සෝදිසි මෙහෙයුමක් සිදු කළ අතර, මේ පිරිස කඳවුරේ නොමැති බව අනාවරණය වී ඇත්තේ එම සෝදිසි මෙහෙයුම්දීය. ආගමන විගමන නිලධාරින් 40 දෙනකුගේත්, මිරිහාන පොලිසියේ සහ විශේෂ කාර්ය බළකා සාමාජීකයත්තේ සහයෙන් මෙම මෙහෙයුම සිදුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම මෙහෙයුමේ දී ලැප්ටොප් 5ක්, ජංගම දුරකතන 75 ක්, 1,56,000 ක
මුදලක් නිලධාරින් බාරයට ගත් බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

ලැප්ටාප් හා දුරකතන භාවිත කරමින් මූල්‍ය වංචා ඇතුළු නීති විරෝධී වාංචාවන්වල නිරත විදේශිකයන් මෙම කැදවුරේ රඳවා සිටින බවත්, ඔවුන් එහි සිට ද මුල්‍ය වංචා ඇතුළු නීති විරෝධී ක්‍රියා සිඳුකරන බවට ලැබුණු පැමිණිළි අනුව මෙම වැටලීම සිදුකළ බවත් ආගමන වගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජී.ජී.  ගයාන් මිලින්ද මහතා පැවසීය.එලෙස සිදුකළ මෙහෙයුමේ දී මෙම උපකරණ  සොයාගත් බවද ඒ මහතා කියා සිටියේය. මෙම රැඳවුම් කඳවුරේ රදවා සිටින නයිජීරියානු ජාතිකයන් ඇතුළු විදේශිකයන් හොර රහසේ කඳවුරෙන් පිටවන බවට තොරතුරු ලැබෙන බවත් ඇතැම් විදේශිකයන් උදෑසන කඳවුරෙන් පිටවී නොයෙක් ජාවාරම්වල නිරතව රාත්‍රි කාලයේ යළිත් කඳවුර වෙත පැමිණෙන බවට තොරතුරු ලැබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම විදේශිකයන් පිරිස ලැප්ටොප් හා ජංගමදුරකතන උපයෝගි කරගනිමින් විවිධ මුල්‍ය වංචා ඇතුළු නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ පිරිසක් බව ඔවුන් තවදුරටත් යම් ආකාරයට මුදල් හා උපකරණ ළඟ තබා ගැනීම නීති විරෝධී බව ද, එහි මාධ්‍ය ප්‍රකාශක පී.ජී. ගයාන් මිලින්ද මහතා  ඊයේ (5) පැවසීය. මුල්‍ය වංචා ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්හි යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින මෙම විදේශීය ජාතිකයන් තවදුරටත් එවැනි නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත මෙම හදිසි වැටලිම කළ බව ද ඒ මහතා කීය. මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්, ආගමන විගමන පරීක්ෂණ හා බුද්ධි අංශයේ නිලධාරීන් ඇතුළු 40කට අධික නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීමට සහභාහි වි තිබේ.

-ඉන්දිකා රාමනායක-