https://www.gossiplankanews.com/2019/11/royal-park-shramantha-no-tours.html
නපති මෛත්‍රිපාල සිරිසේන පාලනය යටතේ අවසන් සතියේ ජනාධිපති සමාව ලබා දුන් ඝාතක ජූඩ් ශ්‍රමන්ත ජයමහට එලෙස සමාව දීම අභියෝගයට ලක්කරමින් කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලූ අතර එය විභාග කිරීමට තීරණය විය.
වයස 19 දී තම පෙම්වතියගේ සොයුරිය වූ ඉවෝන් ජොන්සන් නමැත්තිය සමග මහල් නිවාස සංකීර්ණය තුළදී ඇතිවූ ආරවුල අතරතුර ඇයගේ ගෙළ සිරකර මරා හිස සිමෙන්ති පොළවේ ගසා හිස් කබල කුඩු කර තට්ටු 6 කින් පහතට විසිකර
අමානුෂික ආකාරයේ ඝාතනයක් සිදු කළ මෙම පුද්ගලයාට සමාව ලබාදීම විශාල කථාබහක් ඇති කළ සිදුවීමක් විය. මේ වෙනුවෙන් මියගිය ඉවොන්ගේ සොයුරිය වූ එවක ජූඩ්ගේ පෙම්වතිය කැරොලින් ලන්ඩනයේ සිට සිය අප්‍රසාදයද පළ කර කියා තිබුනේ සල්ලි වලට වැඩ සිද්ධවී ඇති බවයි.
මෙම ඝාතනයේ සැකකාරයෙකු ලෙස සිටි ජූඩ් ඉහළ පවුල් පසුබිමකින් මතුවූ අයෙකු වූ නිසා සිද්ධිය වූ කාලයේ සිට එය යටගැසීමට විවිධ බලපෑම් කර තිබුණ බවටද කරුණු හෙළිව තිබුණි.
සීසීටීවී සාක්ෂි නොමැති කාලයක 2005 සිදුවූ මෙම ඝාතනය සාක්ෂි නොමැති මරණයක් ලෙස වැළලී යන්නට

බොහෝ දුරට ඉඩ කඩ තිබූවකි.
මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ මෙහි පරීක්ෂණ ඒ කාලයේ සිදුවූ අතර ශානිගේ තියුණු ඇස මරණය සිදු කළ ස්ථානයේ තිබූ ලේ පැල්ලමක් වෙත අවධානය යොමුව තිබුණි. එම පැල්ලමෙහි මියගිය ඉවොන්ගේ රුධිරය සහිත වීමත් ඒ සමග තිබුණ ඇගිලි සලකුණ ජූඩ් ශ්‍රාමන්තගේ ඇගිලි සලකුණකට සමාන වීමත් නිසා ජූඩ් ශ්‍රාමන්ත මෙම
ඝාතනය සිදුකළ කෙනා ලෙස ප්‍රබල සාක්ෂියකින් අනාවරණය කරන්නට එකල රහස් පොලිස් පරික්ෂක ශානි හා කරුණු ගොනු කළ නීතිඥයාට හැකිවූ අතර එම සාක්ෂි උසාවියේදී ඉදිරිපත්වීම වළක්වා ඒවා යටපත් කරන්නට ඒ කාලයේ ප්‍රකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජයමහ පවුල වෙනුවෙන් ශානි වෙත මුණගස්වා අල්ලස් යෝජනාවක් කරන්නටත් උත්සාහ ගෙන තිබුණි.
කෙසේ වෙතත් ශානි උසාවියේදී මෙම අල්ලස් කතාව හෙළි කළ අතර ඒනිසා අදාළ ටෙස්ට් ක්‍රීඩකයාට උසාවියේ දඩයක් ගෙවන්නටද සිදුවිය.
ජූඩ් ශ්‍රාමන්තගේ පවුල ඔහුව සිරගතවීමෙන් බේරාගැනීමට කළ හැකි හැමදේම කළත් එය පලක් නොවූ අතර 2014 අභියාචනාකරණ තීන්දුවකින් දෙවන වරටත් ඔහුගේ මරණ දඩුවම ස්ථිර විය.
ඔහුගේ ජීවිතාන්ත සිර දඩුවමින් මුදවා පසුගිය මාසයේ ඔහුට සමාව ලබාදීම ගැන ජනපති මෛත්‍රී මාධ්‍ය ඒකකය දන්වා තිබුනේ අතුරලියේ රතන හිමිත්, දකුණේ රේමන්ඩ් පියතුමාත් තවත් නීතීඥයින් කිහිප දෙනෙකු හා සංවිධානත් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම නිදහස ලබාදුන් බවකි. නමුත් රේමන්ඩ් පියතුමාත් නිවේදනයේ නම් සදහන් නීතීඥයිනුත් එවැනි ඉල්ලීමක් තමන් නොකළ බව විශේෂ නිවේදන මගින් දන්වා තිබුණි.
මේ අතර නිදහස ලද ජූඩ් ශ්‍රාමන්ත අනුකම්පා ලිපියක් ලියමින් තමා සිරගෙදරදී වැසිකිලි බාල්දියක් පුටුවක් කරගෙන කොට්ටය මේසයක්

කරගෙන පාඩම් කළ හැටිත් බාහිර උපාධියක් නිම කළහැටිත් දන්වා තිබූ අතර තම ජීවිතය වෙනස් වූයේ අතුරලියේ රතන හිමි සිරකරුවන්ට ධර්ම වැඩසටහන් පවත්වන්නට ආ පසුව බව දන්වා තිබුණි. ඔහු පවසා තිබූ ආකාරයට ඔහුට සමාව ලැබීම හදිසි තීරණයක් නොවන බවත් එය කාලයක් තිස්සේ ඔහුගේ චර්යාව අධික්ෂණය කර ඔහුගේ අනාගතය ගැන සිතා ජනපතිවරයා ලබාදුන් තීන්දුවක් බවත් දන්වා තිබුණි.
නමුත් ජූඩ් ශ්‍රාමන්තට නිදහස ලද පසුව 'අපටත් නිදහස අවශ්‍ය බව' දක්වමින් සිරකරුවන් ගණනාවක් සිරගෙදර වහළය මත නැගී උපවාස ඇරඹූ අතර ඔවුන්ටද සහනයක් ලබාදෙන බවට පොරොන්දු දී මැතිවරණය ආසන්නයේ එම විරෝධතා නතර කර තිබුණි.

 විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද්දේ මෙයින් පසුවයි.
 බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද සළකා බැලීමෙන් අනතුරුව ඝාතක ජූඩ් ශ්‍රාමන්තට විදේශ ගමන් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කර තිබුණි.
පෙත්සම දෙසැම්බර් 10 වනදා යළි කැඳවීමට දින යොදන ලද අතර එදිනට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනටද සමාව දීම ගැන වගඋත්තර බැදිමට අධිකරණයට කැඳවා ඇත.