https://www.gossiplankanews.com/2019/11/operation-for-nab-bagdadi-siis-leader.html#more
ලොව පුරා භීතිය වපුරන්නට සමත් වූ අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදිගේ මරණය
පසුගිය සතියේ ජාත්‍යන්තර සිදුවීම් අතර වැඩිම අවධානයක් දිනාගත් සිදුවීමක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඔක්තෝබර් 26 වැනි දින සවස් කාලයේ ඔහු ඉලක්ක කර
ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බළකායක් විසින් දියත් කරන ලද සූක්‍ෂ්ම මෙහෙයුමක් අතර බග්ඩාඩි මියගියේ ඔහු හැඳ සිටි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවා ගැනීමෙනි. මෙම ප්‍රහාරය අතරතුර ඔහුගේ බිරියන් දෙදෙනකුද, දරුවන් තිදෙනකුද මිය ගිය බව වාර්තා වූ අතර තවත් දරුවන් 11 දෙනකු හමුදා භාරයට ගෙන ආරක්‍ෂිතව රඳවා තැබීමට පියවර ගෙන තිබිණි.


ලොව පුරා විශාල කුතුහලයක් ඇති කළ මෙම මෙහෙයුමට අදාළ බොහෝ තොරතුරු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ අනාවරණය වන්නට විය. එම වාර්තාවලට අනුව බග්ඩාඩි සිටින ඉසව්ව පිළිබඳ  මුල්ම ඔත්තු තොරතුරු ලැබී තිබුණේ මෙයට මාස පහකට පමණ පෙරය. සිරියාවේ ක්‍රියාත්මක වන කුර්දි සටන්කාමී කණ්ඩායමක් පවසා තිබූ ආකාරයට මුලින්ම මෙම තොරතුරු ලැබී ඇත්තේ ඔවුන්ටයි. මෙම කණ්ඩායම කියන විදියට එකී තොරතුරු ලැබී ඇත්තේ අයි.එස්. සංවිධානය ඇතුළෙන්මය. සංවිධානය සමඟ යම් යම් මතභේද පැවැති
සාමාජිකයකු මෙම ඔත්තුව සපයා ඇති බව සඳහන් වේ. මේ අනුව කුර්දි සහ ඉරාක බුද්ධි අංශද,
 ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයද එක්ව පසුගිය මාස පහක කාලයක් පුරාම ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක නිරත වී තිබිණි. ඒ බග්ඩාඩි පිළිබඳ ලැබුණු තොරතුරු තහවුරු කර ගැනීමට සහ ඔහු සිටින තැන නිශ්චිතවම සොයා ගැනීම සඳහාය. මෙහිදී බග්ඩාඩි සිටින බව පැවසුණු කලාපය තුළ අමතර ඔත්තුකරුවන් රැදවීමටද සී.අයි.ඒ. සංවිධානය පියවර ගෙන තිබිණි. මේ අතර අයි.එස්. සංවිධානයට සම්බන්ධ පණිවුඩ රැගෙන යන්නකුගෙන් මෙන්ම බග්ඩාඩිගේ බිරියකගෙන්ද යම් යම් තොරතුරු ඇමෙරිකාවට ලැබී තිබූ බව සඳහන් වෙයි.
 බග්ඩාඩිගේ දුරකථන ඇමතුම්වලට රහසින් සවන් දීමට හැකි ක්‍රමයක් පාදාගැනීමටද සී.අයි.ඒ. නිලධාරීන් විශාල උත්සාහයක් ගෙන තිබිණි. නමුත් එය සාර්ථක නොවූ බවක් සඳහන් වේ. කෙසේ හෝ වේවා, අයි.එස්. නායකයා නිශ්චිතවම මෙම ඉසව්වෙහි රැඳී සිටින බව ස්ථිර වශයෙන් තහවුරු කර ගැනීමට හැකිව තිබුණේ මෙයට සති කිහිපයකට පෙරය.

සිරියාවේ කුර්දි සටන්කාමී කණ්ඩායම් ඇතුළත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකායෙහි නායකයන් පවසා තිබූ අපූරු කතාවක්ද පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගත්තේය. ඔවුන් පවසා තිබුණේ
තමුන්ගේ ඔත්තුකරුවකු බග්ඩාඩිට සමීපම සාමාජික කව තුළ රැඳවීමට ඔවුන් සමත්ව සිටි බවයි. මෙම ඔත්තුකරු වරක් බග්ඩාඩිගේ යට ඇඳුමක් සහ ලේ සාම්පලයක් සොරකම් කරගෙන තමුන්ට ලබාදීමට සමත් වූ බවද ඔවුහු සඳහන් කළහ. තමුන් මේ ලුහුබැඳ යන්නේ බග්ඩාඩිම බවට, ප්‍රහාරයට පෙර අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙන්නේ මෙම යට ඇඳුම සහ ලේ සාම්පලය ඇසුරෙන් කරන ලද ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් හරහාය.
බග්ඩාඩි රැඳී සිට ඇත්තේ වයඹදිග සිරියාවේ පිහිටි බරිෂා නමැති ගම්මානයේයි. එහි අබූ මොහොමඩ්
සලාමා නමැත්තකුගේ නිවෙසේ ඔහු රැඳී සිටි බව මෙහිදී සොයා ගැනීමට හැකිව තිබිණි. සලාමාද
අයි.එස්. සංවිධානයේ අණ දෙන නිලධාරියකු ලෙස කටයුතු කළ කෙනෙකි. බග්ඩාඩි කොටු කර ගැනීම සඳහා
මෙහෙයුම සැලසුම් කිරීම ආරම්භ වී ඇත්තේ එයින් අනතුරුවයි.

කෙසේ නමුත් බග්ඩාඩි සිය ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් විවිධ උපක්‍රම අනුගමනය කරන්නෙකි. ඔහු සිටින තැන්, යන එන තැන් නිතර වෙනස් කරමින් සතුරන්ට තමා අල්ලා ගැනීමට තිබෙන ඉඩ අවම කිරීමට සියලු උත්සාහයන් ගනියි.  මෙයට පෙරද ඔහු ඉලක්ක කර දියත් කිරීමට සූදානම් වූ මෙහෙයුම් දෙකක් අන්තිම මොහොතේ අත්හැර දමන ලද බවද අනාවරණය විය.

දිවි පරදුවට තබා කළයුතු වූ මෙම අනතුරුදායක මෙහෙයුම සඳහා ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බළකායන්හි සෙබළුන් දැඩි පුහුණුවීම්වල නිරතව තිබුණු බවද මාධ්‍ය සඳහන් කළේය. කෙසේ හෝ වේවා, බග්ඩාඩි සිටින බව පැවසුණු ස්ථානයෙහි ඔහු නිශ්චිත වශයෙන්ම සිටින බව පසුගියදා ආරක්‍ෂක අංශ තහවුරු කර ගැනීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙයුම සඳහා අනුමැතිය ලබා දුන්නේය.

මෙහෙයුම ඇරඹුණේ 26 වැනි දින ඇමෙරිකානු වේලාවෙන් සවස 5ට පමණය. ජනාධිපතිවරයා මෙන්ම උප
ජනාධිපති මයික් පෙන්ස්, ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්පර්, ආරක්‍ෂක උපදේශක රොබට් ඕ. බ්‍රයන් ඇතුළු
තවත් ආරක්‍ෂක ප්‍රධානීන් කිහිපදෙනකු ධවල මන්දිරයේ විශේෂ මැදිරියක සිට මෙහෙයුම සජීවීව නරඹා
තිබිණි. කොමාන්ඩෝ භටයන්  50-100 අතර පිරිසක් සී.එච්. 47 චිනූක්ස් නමින් හැඳින්වුණු හෙලිකොප්ටර්
යානා 8ක නැඟී  සිරියාව බලා පිටත් වූහ. ඔවුන් ගමන පිටත් වූයේ ඉරාකයේ පිහිටි හමුදා කඳවුරක
සිටයි. විනාඩි 70ක් පමණ ගතවීමට නියමිතව තිබූ මෙම ගමන ඉතා අනතුරුදායක ගමනක් විය. පොළොවට
ආසන්නයෙන් ගමන් කරද්දී වෙඩි ප්‍රහාරවලට මුහුණ දීමට මෙම යානාවලට සිදුවූ බවද ආරක්‍ෂක අංශ
අනාවරණය කර තිබිණි. කෙසේ නමුත් නියමිත ස්ථානයට ළඟා වීමෙන් පසු හමුදා සෙබළුන් බග්ඩාඩිට නිවෙසින්
පිටතට එන ලෙස පවසා ඇති බවද වාර්තා වෙයි. වෙනත් කිහිපදෙනකු සහ කුඩා දරුවන් පිරිසක් පිටතට
පැමිණ ඇති නමුත් බග්ඩාඩි තවදුරටත් නිවෙස තුළටවී සිටියේය. මේ අනුව හමුදා භටයන් නිවසට ඇතුළු වීමට
පියවර ගෙන තිබිණි. නිවසේ ඉදිරිපස ‍ෙදාරට පුපුරන ද්‍රව්‍ය සවි කර තිබෙනු ඇතැයි යන සැකය නිසා
භටයන් ඇතුළුව ඇත්තේ බිත්තියක් පුපුරුවා හැරීමෙනි. මෙහිදී අයි.එස්. සටන්කරුවන් කිහිපදෙනකු සහ හමුදා සෙබළුන් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එයින් එම සටන්කරුවන් මියගොස් තිබිණි. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයද හැඳගත් බග්ඩාඩි දරුවන් තිදෙනකුද සමඟ උමඟකට ඇතුල්ව  ඇත්තේ මෙම අවස්ථාවේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේදී පැවැසූ අන්දමට බග්ඩාඩි දිවගොස් ඇත්තේ හඬා වැටෙමින්ය.
ජනාධිපතිවරයා පැවැසුවේ ඔහු නිවටයකු ලෙස මිය ගිය බවයි. නමුත් බග්ඩාඩි හඬා වැටුණේද යන්න

ආරක්‍ෂක අංශ තහවුරු කර තිබුණේ නැත.

බග්ඩාඩි ඔහුගේ ඇඳුම් කට්ටලය පුපුරුවා ගනු ඇතැයි යන සැකය නිසා හමුදා සෙබළුන් ඔහු පසුපස නොගොස් රොබෝ අවියක් යැවීමට අදහසක් තිබූ බවද ට්‍රම්ප් ඉහත කී මාධ්‍ය හමුවේදී පැවැසුවේය. මේ අතර ඇමෙරිකානු හමුදාව තුළ සේවය කරන නිල සුනඛයන් දෙදෙනකුද මෙහෙයුම සඳහා යොදාගත් බැව්  සඳහන්ව තිබිණි. මෙයින් එක් සුනඛයකු උමඟ දිගේ බග්දාදි පසුපස ලුහුබැඳ ගොස් ඇති බවද පැවසිණි. අවසානයේ බග්ඩාඩි සිය බෝම්බය පුපුරුවා ගනිද්දී සුනඛයාද එයින් තුවාල ලබා තිබුණේය. පසුව මෙම සුනඛයාගේ වික්‍රමය ගැන අනාවරණය වීමෙන් පසු ඔහු සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වීරයකු බවටද පත්ව තිබිණි.

ඇමෙරිකානු හමුදාවට සේවය කරන මෙවැනි සුනඛයන්ගේ විස්තර ඉතා රහසිගතව තබා ගන්නා නමුත්
ට්‍රම්ප්ගේ නිර්දේශය මත ඇමෙරිකානු ආරක්‍ෂක අංශ මෙම සුනඛයාගේ ඡායාරූපයක් සහ නමද
ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කළේය. ඔහුගේ නම කැනන් බව සඳහන් වේ.  කැනන් සුවය ලැබීමෙන් පසු
නැවතත් හමුදාවේ සේවය සඳහා එක්වීමට නියමිතය. කෙසේ වෙතත් බෝම්බය නිසා තුවාල ලැබූ සුනඛයාට
සැත්කමක් පවා  කිරීමට සිදුව තිබිණි. මේ අතර ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ කැනන් ලබන සතියේ
මැද පෙරදිග සිට පැමිණි පසු ධවල මන්දිරයටද පැමිණෙනු ඇති බවයි.

බග්ඩාඩිගේ පෙනුමෙන්ම ඔහු හඳුනා ගැනීමට හමුදා සෙබළුන් සමත්ව තිබුණත් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් හරහා එය තහවුරු කරගැනීමට පියවර ගැනිණි. ඔහුගේ මරණයෙන් විනාඩි 15ක් ඇතුළත මේ ආකාරයෙන් බග්ඩාඩිගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හමුදාව සමත්ව තිබිණි. මෙයට පෙර 2004 වසරේ බග්ඩාඩි ඉරාකයේදී අත්අඩංගුවට පත්ව තිබූ නිසා ඔහුගේ ඩී.එන්.ඒ. දත්ත ඇමෙරිකානු හමුදාව සතුව තිබෙන බැව් සඳහන් වේ.
මෙවර ඔහු හඳුනාගැනුණේ මෙහෙයුම අවස්ථාවේ ලබාගත් ඩී.එන්.ඒ. දත්ත ඒවා සමඟ සැසඳීමෙනි.

මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීම සිරිත වුවත් බග්ඩාඩිගේ සිරුර ගොඩබිම තැනක භූමදානය කිරීමට හමුදාව පියවර ගත්තේ නැත. ඒ වෙනුවට සිදුකෙරුණේ ඇමෙරිකානු යුද නැවකින් සිරුර රැගෙන ගොස් ඇත්තේෙ මුහුදේදී අවසන් කටයුතු කිරීමටයි. (2011 වසරේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කළ අවස්ථාවේද සිදු කරන ලද්දේ මෙවැනිම කටයුත්තකි.)  සිරුර ගොඩබිම තැනක භූමදානය නොකළේ එම ස්ථානය අයි.එස්. අනුගාමිකයන්ට ස්මාරකයක් බවට පත් වීමට ඉඩකඩක් ඇති නිසා බව පැවසිණි.
බග්ඩාඩිගේ අවසන් කටයුතු සිදු කළ මුහුදු ප්‍රදේශය ගැනවත්, සිරුර ගෙනගිය නෞකාව ගැනවත් විස්තර ප්‍රසිද්ධ කර තිබුණේ නැත.
-සනත් වික්‍රමගේ