තිහගොඩ පොලිස්‌ වසමේ පිහිටි නිවසකට 30 දින රාත්‍රි ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු විසින් එම නිවසේ සිටි 67 හැවිරිදි කාන්තාවක්‌ දූෂණය කර ඇයගේ 36 හැවිරිදි දියණියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කර මුදල් රුපියල් 26000 ක්‌ සහ රුපියල් 50000 ක්‌ වටිනා රන් මාලයක්‌ කොල්ලකා ගිය බවට කියන සිද්ධියක්‌
සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ තිහගොඩ පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

 මෙම නිවසේ සිද්ධිය වූ දින රාත්‍රියේ 67 හැවිරිදි කාන්තාවත් දියණිය වූ 36 හැවිරිදි කාන්තාවත් ඇගේ දරුවනුත් සිටි බවත් සැමියා විදේශගත වී ඇති බව ද
රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව 11.30 ට පමණ මෙම කාන්තාවන් දෙදෙනා වෙන වෙනම කාමරවල නිදා ගත් බව ද මෙහි මැද කාමරයේ විදුලිය දල්වා තිබූ බව ද රාත්‍රි 1.00 ට පමණ විදුලිය විසන්ධි වී ඇති බවට දියණිය මවට පවසා ඇති අතර මොහොතකට පසුව විදුලිය නැවත ලැබී ඇති අතර පසුව නැවත නින්දට ගිය බව ද පවසා ඇත.

 එම අවස්‌ථාවේ එක්‌වරම පුද්ගලයකු පැමිණ 67 හැවිරිදි කාන්තාවගේ ඇඟ උඩට පැන කොට්‌ටයක්‌ ගෙන ඇගේ මුහුණට තබා තද කළ බව ද තමා බුදු අම්මෝ මරන්න එපා කියා කෑගැසූ බවත් ඒ සමගම දියණියගේ කාමරයෙන් ද එවැනි ශබ්දයක්‌ ඇසුණු බවත් තමාට එම පුද්ගලයා විසින් පහරදුන් බව ද පසුව හෙතෙම දියණිය සිටි කාමරයට ගිය අතර දියණියගේ කාමරයේ සිටි පුද්ගලයෙක්‌ තමා සිටි කාමරයට පැමිණි බව ද එහිදී තමා අතවර සිද්ධියට මුහුණ දුන් බවත් දියණියගෙන් රන්බඩු දෙන ලෙසට ඉල්ලා ඇති අතර එහිදී ඇය විසින් රන්මාලය දී ඇති අතර පසුව ඔවුන් පලා ගොස්‌ ඇති බව ද මොවුන්ගෙන් මත්පැන් ගඳ වහනය වී ඇති බව ද පවසා ඇත.

 මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.


මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු