Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/11/mahinda-deshapriya-story.html
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය කාලයේ වැඩි වශයෙන්ම පුවත් සිරස්තල මැවූ පුද්ගලයාය.ඔහු ගැන නිතරම පළවූයේ මැතිවරණය හා සම්බන්ධ රාජකාරී පුවත්ය. නමුත් පසුගිය සති අන්ත පුවත්පතකින් ඔහුගේ රාජකාරී ජීවිතයෙන් පරිබාහිර පුද්ගලික ජීවිතය ගැන විමසා තිබුණි. මේ අපූරු පුද්ගලයා ගැන එහිදී රසවත් කරුණු ගණනාවක් හෙළිවිය.
අපේ තාත්තා පියසේන ඉස්කෝලෙ මහත්තයා. අපේ තාත්තා හතළිස් ගණන්වල අන්තිම හරියෙ කොමියුනිස්ට් පක්ෂෙ තරුණ සමිති සාමාජිකයෙක්. එම්.ජී. මෙන්ඩිස් හරහා වෙන්න ඇති තාත්තා කොමියුනිස්ට් පක්ෂෙට සම්බන්ධවෙලා තියෙන්නේ. අපිට මතක ඇති පොඩි කාලෙ ඉඳල
තාත්ත අම්බලන්ගොඩ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා.

කොමියුනිස්ට් පක්ෂෙ පත්තරේ වෙච්ච ‘මව්බිම’ අම්බලන්ගොඩ බෙදාහරින්න අපේ ගෙදරට තමයි ගෙනාවේ. ලොකු අයියයි හිච්චි අයියයි එක්ක තාත්තා පාරට ගිහින් තමයි ඒ පත්තර බස් එකෙන් බාලා ගෙදර ගේන්නේ. ඇත්ත පත්තරේ සුරත් අම්බලන්ගොඩ එහෙම තාත්තා එක්ක දේශපාලනය කෙරුවා. තාත්තා අපිව මැයි දිනේට එහෙමත් එක්ක යනවා. අම්මත් යනවා අපිත් එක්ක. තාත්ත අපිට දේශප්‍රිය කියලා නම දාන්න ඇත්තේ කොමියුනිස්ට් පක්ෂෙ වැඩ කරපු පත්තරකාරයෙකුත් වෙච්ච රත්න දේශප්‍රියගෙ ඇඳුනුම්කම නිසා මං හිතන්නේ. ඒක මං අහපු කතාවක්. නැත්තං අපේ තාත්තලට සීයලට වඩුගේ වාසගම වගේම සිල්වා කියන කෑල්ලත් තියෙනවා.  

ඔබේ අම්මත් ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්


ඔව්. අපේ අම්මයි තාත්තයි විවාහවෙලා තියෙන්නේ අම්මා උගන්නපු හීනටිය ඉස්කෝලෙට තාත්තත් ආවට පස්සෙ ඇතිවෙච්ච ප්‍රේම පලහිලව්වකින්. අපේ අම්මා තාත්තට වඩා වැඩිමල්. අවුරුදු හතක් විතර
වැඩිමල්. හැබැයි ඒ දෙන්නට දෙන්න හරිම ආදරෙන් එකමුතුවෙන් පවුල් කාපු දෙන්නෙක්. මම ඉපදිලා
තියෙන්නෙත් අම්මගෙ මහගෙදර. අපේ තාත්තා නැතිවෙනකොට වයස පනස් පහයි. අම්මා අවුරුදු අනූ තුනක් ජීවත්වුණා.  

තාත්ත කාලයක් ජේ.වී.පී. එකේ හිතවතෙක් වගේම උපදේශකයෙක් විදියටත් වැඩ කළා. ඒකෙන් පස්සෙ
අයින් වුණා. අයියයි අක්කයි දෙන්නත් ජේවීපී එකට සම්බන්ධ වුණා. අන්තිමට තාත්තා ශ්‍රී ලංකා නිදහස්
පක්ෂෙ ක්‍රියාකාරිකයෙක්. රෝහණ විජේවීරලා එහෙම ඒ දවස්වල අපේ ගෙදර එනවා. අපිට හොඳට
මතකයි ඒ දේවල්. 71 රෝහණ විජේවීරලා අහුවෙන්න කලින් පක්ෂෙ අර්බුදයත් සමථයකට පත් කරන්න කට්ටියම අපේ ගෙදරට ගෙන්නලා ඒ ගැන සාකච්ඡා කළා. දේශපාලනය කියන්නේ අපේ ගෙදරට අමුතු දෙයක් නෙවෙයි. අම්මත් මේවට හවුල්. මම මැතිවරණ දෙපාර්තමේන්තුවට ආවට පස්සෙ තමයි මම අපේ අම්මට
කිව්වෙ අම්මගෙ දේශපාලන වැඩ ගෙදරින් පිට තියාගන්න කියල. මොකද මම රාජකාරි කරපු තැනත් එක්ක දේශපාලන සම්බන්ධකම් ගෙදර තියාගන්න බැරිවුණා. අම්මා අවසාන කාලෙ ගම්පහ අක්කලගෙ ගෙදර හිටියේ. ඒත් හැම ඡන්දෙකටම එයා අම්බලන්ගොඩ එක්ක යන්න වුණා අපි කාට හරි. ඡන්දෙට අඳින්න එක එක පාටින් සාරි එහෙමත් අම්මගෙ ළඟ තිබුණා. අපේ තාත්තලා වාමාංශික දේශපාලනය කෙරුවට තාත්තට හිටියා හැම පක්ෂෙම යාළුවො. වෙන දේශපාලන පක්ෂවල අයගෙ ඡන්ද පාටි පවා අපේ ගෙදර දාන්න තාත්ත ඉඩ දුන්නා. කා එක්කවත් තරහක් මරහක් නෑ. අපිටත් ඇවිත් තියෙන්නෙ ඒ ගතිය වෙන්න ඇති. අපිත් ඕන කෙනෙක් එක්ක කිසිම ලෙවල් එකක් නැතුව ආශ්‍රය කරන්නේ තාත්තගෙන් දැකපු දේ නිසා.  

අම්මගෙ සැලකිලි එහෙම කොහොමද පුතාට?  

අම්මා අපි කාටත් එක වගේ. අපිට විතරක් නෙවෙයි අපේ ගෙදරට එන කොයිකාටත් එක වගේ තමයි
සංග්‍රහ සත්කාර එහෙම. මම පේරාදෙණියෙ යුනිවර්සිටියෙ ඉඳලා රෑ වෙලා ගෙදර ආවම අම්ම
නිදාගන්න තැන ජනේලෙට තට්ටු කරල තමයි දොර ඇරව ගන්නේ. ගොඩක් දවසට මාත් එක්ක තව යාළුවො එනවා. අපි කී දෙනෙක් ආවත් අම්මා දඩි බිඩි ගාලා කෑම උයලා දෙනවා. ඉස්සෙල්ලම ලොකු කේතලේකට වතුර ලිපේ තියල තේ හදනවා. ඒ අතරේ බතක් උයනවා. දකුණේ අපේ ගෙවල්වල කුස්සියෙ මාළු හට්ටියක් නැති වෙලාවක් නෑනේ ඉතිං. ඊට අමතරව සම්බෝලයක් හදනවා. විශේෂ කෙනෙක් ආවොත් පරිප්පු ව්‍යාංජනයක් එහෙමත් හදනවා. එන ඕනෑ කෙනෙකුට ඉහළින්ම සංග්‍රහ කරන එක අම්මගෙ පුරුද්ද. ගමේ ගෙවල්වල කොහෙත් ඒ වගේනෙ. මගේ යාළුවො විතරක් නෙවෙයි සුනන්දගෙ යාළුවො එහෙමත් අපේ ගෙදර නිතර ආව ගියා. දේශපාලන පක්ෂවල අයත් ඒ වගේ. ඒ හැමෝටම කෑමෙන් බීමෙන් ඉඳුම් හිටුම්වලින් ආගන්තුක සත්කාර ලැබුණු තැනක් තමයි අපේ ගෙදර. සිංහල අවුරුදු කාලෙට නොනගතේට පවා අපේ ගෙදරට එන අයට කැම බීම දෙනවා. අපි ඔය නැකත් ඒ තරම් ගණන් ගත්තේ නෑ. ඒක නිසා අපේ යාළුවො නොනගතේට අපේ ගෙදර එනවා.

ඒ කියන්නේ ගෙදර නිදහස් පරිසරයක් තිබුණෙ.  
අපොයි ඔව්. අපිට අටේ පංතියෙදිම විතර තනියම චිත්‍රපටි බලන්න යන්න පුළුවන් වුණා. මූදෙ නාන්න ගියත් කවුරුවත් එපා කියන්නෙ නෑ. සමහර වෙලාවට වැඩිහිටියොත් එනවා අපිත් එක්ක මූදට යන්න. ඒවට කිසිම තහනමක් තිබුණෙ නෑ. පවුලෙ අපි ඔක්කොම එක වගේ. ජේ.වී.පී. එකේ පංති තිව්වෙත් අපේ ගෙදර. අයියයි අක්කයි ඒවට සම්බන්ධ වෙනවා. ඒවටත් තහංචියක් නෑ. ඒ කාලේ ජේවීපී එකේ පංතිවලට අපේ පැතිවල නොගියපු කෙනෙක් නැති තරම්. ඒක හරියට දැන් ෆේස්බුක් යනවා වගේ වැඩක්. අම්බලන්ගොඩ අය විශේෂයි. අපේ කාලේ ගොඩක් අයට දේශපාලනය ගැන ගැඹුරු උනන්දුවක් තිබුණෙ.

ඉස්කෝලෙ කාලේ කොහොමද මතකය?  
ඒක ඉතිං කාට වුණත් අමතක නොවෙන දෙයක්නෙ. අනික අපි මිශ්‍ර පාසලකනෙ හිටියෙත්. ඒවා සුන්දර
මතක. අපි ඉතිං කරන්න තියෙන හැම තක්කඩි වැඩක්ම කෙරුවා. අපිට හිටියා හොඳ ප්‍රින්සිපල් කෙනෙක්
එම්.ඩී. විමලසූරිය කියලා. එතුමගෙ පිංතූරෙ මම මගේ ඔෆීස් එකෙත් තියාගෙන ඉන්නවා. තාත්ත කෙනෙක් වගේ අපිව බලාගත්තෙ එතුමා තමයි. අපි කොයි තරම් දඩබ්බරකම් කෙරුවත් ප්‍රින්සිපල්ටයි ගුරුවරුන්ටයි ආදරෙයි. අපි ඉගෙන ගත්ත වැඩත් අකුරටම කෙරුවා. අපේ ඉස්කෝලෙ නැත්නම් අම්බලන්ගොඩ මේ තරම් ප්‍රසිද්ධත් නෑ. මං හිතන්නේ මම උසස් පෙළට විද්‍යා විෂයන් තමයි කෙරුවේ. තාත්ත පොඩි කාලෙ ඉඳල අපිට ගණිතය පිළිබඳ ඇල්මක් ඇති කළා. මම ඉස්කෝලෙ ටිකක් දක්ෂයෙක්. මම ඉංජිනේරු පීඨයට තමයි තේරුණේ. ඒත් මම විද්‍යා පීඨයට ගියේ රසායන විද්‍යාව විශේෂවේදී උපාධිය කරන්න. ඒක සුමාන දෙකක් විතර කරලා දමලා ගහලා ආවා ඒක කරන්න බෑ කියල. පස්සෙ ජෙනරල් ඩිග්‍රිය කළා. විශ්වවිද්‍යාලෙන් එළියට ආපු ගමන් ධර්මාශෝකෙ උගන්වන්න හම්බවුණා. මම ඉස්කෝලෙ උගන්නන්න යනකොට අපිත් එක්ක ඉස්කෝලෙ ඉඳපු එවුනුත් හිටියා.  

සරසවි ජීවිතේ එහෙම කොහොමද?  
මම සයන්ස් ෆැකල්ටියට වඩා හිටියෙ ආර්ට් ෆැකල්ටියෙ. ඒක සුන්දර කාලයක්. ඒකෙදිත් දේශපාලනය
කෙරුවා. පක්ෂවලින් කැඩිච්ච පිරිසක් එකතුවෙලා සංවිධානයක් අපි හදාගත්තා. අපේ යාළුවො ගොඩක්
හිටියා. අදටත් විවිධ තැන්වල ඉන්නවා. හමුවෙනවා අතීතය මතක් කරලා විනෝද වෙනවා ඒ අය එක්ක.  


වීරසූරිය සහෝදරයා ඝාතනය වෙද්දි මම ශිෂ්‍ය ව්‍යාපාරයක ක්‍රියාකාරීව කටයුතු කළා. පළවෙනි
වසරෙ ඉගෙන ගත්තා. දෙවෙනි වසරේ විනෝද වුණා. තුන්වෙනි වසරේ දේශපාලනය කෙරුවා. ඉගෙන ගත්ත වැඩෙත් හොඳටම කළා. ඔක්කොම කළා ප්‍රේම කිරීම ඇරෙන්න.  

අපොයි ඒ මොකද?  
ඉස්කෝලෙ කාලෙ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ලියුම් ලියන කාලෙ ප්‍රේමයක් ඒක. ටික කාලෙකින් ඒක
නැති වුණා. පස්සෙ ධර්මාශෝකෙ උගන්නන්න ගියාම එහෙදි මුණ ගැහුණු කෙනෙක් එක්ක ප්‍රේම පලහිලව්වක් ඇති කරගෙන එයා කසාද බැන්දා. විශ්වවිද්‍යාලයේ ඉද්දිත් ගමේ ප්‍රේමය කරගෙන ගියා. ඒත් ඒක අතරමග නැවතුනා.
  
ගුරු ජීවිතේ දුරදිග ගියේ නැත්තේ මොකද?  
අවුරුදු පහක් විතර තමයි ඉස්කෝලෙ ඉගැන්නුවෙ. රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය
වගේ විෂයන් තමයි ඉගැන්නුවෙ. 1982 තමයි මම පරිපාලන සේවා විභාගය ලියන්නේ. මම චාර්ටඩ්
එකවුන්ටන් විභාගෙ ලියන්න ක්ලාස් ගියා. ඒක අතරමග නැවතුනා. ඔය ඉන්න අතරෙ යාළුවෙක් කිව්වා
පරිපාලන සේවා විභාගෙ ලියන්න කියලා. මම ලිව්වා. පාස් වුණා. ඊට පස්සෙ තමයි මැතිවරණ
දෙපාර්තමේන්තුවෙ රස්සාවට ආවෙ. දැන් වෙලාවකට හිතෙනවා ටීචින්වලම හිටියනම් හොඳයි කියලා.
එහෙනම් දැන් පෙන්ෂන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබුණා.

විවාහය සිද්ධවෙන්නෙ කොහොමද?  
ගමේ පාසල් ප්‍රේමයෙන් පස්සෙ ටික කාලයක් හිටියා. පස්සෙ විශ්විවද්‍යාලයෙන් ගමේ ඉස්කෝලෙට
උගන්වන්න ගියාම ඒකෙදි ගෑණු ළමයෙක් එක්ක පෙම් පලහිලව්වක පැටලුණා. එක ස්ටාෆ් එකේ අපි. එහෙම තමයි ඒක කෙරුණෙ. 1986 දි අපි විවාහ වුණා. අපි 2000 වෙනකම් අම්බලන්ගොඩ හිටියෙ. අයියල
මල්ලිලා කවුරුත් කොළඹ පදිංචියට ආවා. පුතා විභාගෙ පාස්වෙලා රෝයල් එකට දාන්න තමයි අපිට කොළඹ එන්න වුණේ. ඔය අතරේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොළඹ ඔෆිස් එකේ වේකන්සියක් තිබිලා මට එන්න පුළුවන් වුණා. බිරිඳ රමණියි දරුවොයි මොරටුවෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ මුලින්. රමණි වේල්ස් කුමාර විද්‍යාලයට මාරුවක් හදාගත්තා. එයා 2016 පෙන්ෂන් යනකම් ඒකෙ ඉගැන්නුවෙ.

අපි පස්සෙ මොරටුවෙ ඉඩමක් අරන් ගෙයක් හැදුවා. දැන් පුතා ඉන්නේ ඒ ගෙදර. අපි ඉන්නේ බම්බලපිටියේ පරණ ඉලෙක්ෂන් කමිෂනර් ඉඳපු ගෙදර. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නෙ. පුතා ඉරිගේෂන් එකේ ඉංජිනේරුවෙක්. දුව ලේඩි රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්. පුතාට 31යි. දුවට 28යි. දෙන්නම දැන් කසාද බැඳලා එයාලටත් දරුවො ඉන්නවා. මම දැන් සීයා කෙනෙක්. අපිට තිබුණෙ නැති දේවල් අපේ දරුවන්ට අද තියෙනවා. අදටත් මට කාර් එකක් නෑ. මට කාර් පදින්නත් බෑ. මම වාහන පදින්න බයයි. මට ෆුට් බයිසිකල් විතරයි පදින්න පුළුවන්. මට වාහන එළවනකොට හිතෙන්නෙම ඉස්සරහින් එන වාහනේ හැප්පෙයි කියලා. යාළුවො එක්ක පුරුදු වෙන්න පැද්දා. බැරිම තැන මම වැඩේ අත ඇරලා දැම්මා. වාහන
එළවන්න වගේම බල්ලොන්ටත් මම අප්‍රමාණ බයයි. එක සැරයක් බල්ලෙක් කාලා බුරිය වටේ ඉන්ජෙක්ෂන්
විසි එකක් විදලා තියෙන්නේ.

මැතිවරණ රාජකාරි ජීවිතේ ඉහළම පුටුවට එන්න ටාගට් එකක් තිබුණද?  
කොයි වෙලාවකවත් එහෙම එකක් තිබුණෙ නෑ. ලැබෙන වැඩක් කළා විතරයි. ලොකු ලොකු බලාපොරොත්තු ඉලක්ක මේකෙ මට තිබුණෙම නෑ.  

විශ්‍රාම ජීවිතේ සැලසුම් කරලද තියෙන්නෙ?  
විශේෂ සැලසුමක් නෑ. හෙට යන්න පුළුවන් නම් ඒත් ලෑස්තියි. ඒත් සමහර දේවල් අපිට ඕන වුණාට ඒ
වෙලාවටම අත අරින්න බෑ.  

විනෝදයට මොනවද කරන්නේ?  
පිළිසඳර තමයි මගේ ලොකුම විනෝදය. කාත් එක්ක හරි කයියක් දාගෙන ඉන්න එක තරම් විනෝදයක් නෑ. හිංදි චිත්‍රපටි බලන්න ටිකක් රුචියි. කාර්ය බහුලකමත් එක්ක ඒවටත් වෙලාවක් නෑ. සිංහල චිත්‍රපටි නම් බැලෙනව අඩුයි. අනික ඒ සමහර චිත්‍රපට ගැන ඔයාල ලියන ඒවා දැක්කම බලන්න තියෙන උනන්දුව
එහෙමම නැතිවෙනවා. ඊළඟට කියවීමට තමයි ලොකුම කැමැත්ත. අහුවෙන ඕනෑ දෙයක් කියවන එක තමයි පුරුද්ද. ලංකාදීපෙ එක්ක දෙන සතුට චිත්‍රකතා පත්තරෙත් මං කියවනවා. ඉඩක් ලැබුණම වේදිකා
නාට්‍ය නම් බලනවා.  

ඒ වගේම ඔබ සමාජ මාධ්‍ය ඇතුළෙ සක්‍රීය චරිතයක්.  
ඉතා සක්‍රිය චරිතයක්. ඒකෙ තදින්ම ඉන්නවා. ඇබ්බැහිවෙලා කියන්න බෑ. රාජකාරිවලට බාධාවක්
නොවෙන විදිහට ඒ මාධ්‍ය එක්ක ගනුදෙනු කරනවා.
විනෝද වෙද්දි අඩියක් පුඩියක් එහෙම ගහනවා.   මට ඉතිං සාදවලට ආරාධනා අඩු නෑ. අඩි සහිත සාද
වගේම අඩි රහිත සාදත් තියෙනවා ඒ අතර. විනෝදයට සාදයක් දාන්න බීම ඇතුවත් පුළුවන් නැතුවත්
පුළුවන්නෙ. ගමේ ගියාමත් යාළුවො මුළුගැහිලා සාද දානවා.  

ගමේ යනවද නිතර?  
නිතර යැවෙන්නෙ නෑ. අදත් ගමේ යන්න හිතං හිටියෙ. ඒත් බැරිවුණා. නෝනයි දුවයි ගියා. ගම අතඅරින්න
බෑ. කිඹුල්වත්පුරෙන් එන සුවඳත් සැපයි කිව්ව වගේ අම්බලන්ගොඩ තමයි ගම. හැබැයි දැන් අපි ගමටත්
නැති නගරෙටත් නැති තැනක හිරවෙලා. හරියට දෙදිය මාලුවො වගේ. උන්ට කරිජ්ජත් නෑ හරියට මිරිජ්ජත් නෑ. දෙදිය මාලුවො වගේ අපි දැන්.


ප්‍රියන්ත කොඩිප්පිලි - ලංකාදීප











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter