https://www.gossiplankanews.com/2019/10/train-strike-ended.html
ජනපති සමඟ පැවති සාකච්ඡාවකින් පසුව දිනගණනාවක් පැවති වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබෙයි.

වෘත්තිය සමිති නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර කොටුව ජනාධිපති මන්දිරයේදීමෙම සාකච්ඡාව පවත්වා ඇත.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය රියදුරන්, නියාමකයින්. ස්ථානාධිපතිවරුන් ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට දින 12 කට පසුව

මෙසේ අවසන් විය.
අද දිනයේත් වර්ජනය පැවති අතර උදෑසන කාර්යාල දුම්රිය 28 ක් පමණක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණි.
 සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ පසු සේවයට වාර්තා කළ සේවකයින් වර්ජනයේ නිරත පිරිස් විසින් බියගන්වා ඇති බවයි.
එමෙන්ම වර්ජනය හේතුවෙන් සිදුව ඇති පාඩුව මෙතෙක් ගණන් බලා නොමැති බව ඔහු කීය.

ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරතවීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගෙන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවකයින්, සංස්ථා, මණ්ඩල, බැංකු යනාදී අර්ධ රාජ්‍ය ආයතන සේවකයන්ගෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ඊයේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක්ද පවත්වන ලදි.
එහිදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් පොරොන්දු වූ බවටද ආරංචි පැතිරණි.
මේ අතර දුම්රිය වර්ජනය පැවති කාලසීමාවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 3 කින් ඉහළ ගොස් ඇති බව සභාපති උපාලි මාරසිංහ දන්වා ඇත.
මේ අතර දුම්රිය රියදුරන්, නියාමක සහ ස්ථානාධිපතිවරුන් ලෙස යුද හමුදා සෙබළුන් 30 දෙනෙකු ඉන්දියාවට යවා පුහුණු කිරීමට කටයුතු කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කර තිබුණි.
අද වර්ජනය අවසන් කරන්නට ජනපති කවරක් පොරොන්දු දුන්නේදැයි එම සංගමය තවම හෙළි කර නැත.