පාසල් සේවය නිමවී නිවසට එමින් සිටියදී නිවස ආසන්නයේදීම අතුරුදන්ව ඇති තරුණ පාසල් ගුරුවරිය පිළිබඳව ඊයේ (06දා) වනවිට දින 06ක් ගතව ඇතත් ඇය පිළිබඳ කිසිම හෝඩුවාවක් නැතැයි ඇගේ ඥාතීහු පවසති.  ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති (27) හැවිරිදි ගුරුවරිය මෙසේ අතුරුදන්ව සිටියි.

හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන ඇය පසුගිය 01දා පාසල නිමවී සවස නිවසට එමින් සිටියදී නිවස අසලදී අතුරුදන්ව ඇතැයි ගම්පොළට පොලීසියට පැමිණිලි කොට තිබේ.
ඇගේ නිවස ආසන්නයේ ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සවිකර ඇති ආරක්ෂක කැමරාවල 
සවස 4.06 ට ඇය නිවස දෙසට ගමන් කරන අයුරු සටහන්ව ඇත. එම අවස්ථාවේ වර්ෂාව පැවතීම නිසා ගම්වාසීන් හා ගම්පොළ පොලීසිය  එක්ව ප්‍රදේශයේ දිය පහරවල හා
වන රොදවල්වලද සොයා බැලීම්  සිදුකර තිබේ.

මේ අතර මහවැලි ගඟේ පේරාදෙණිය, මහනුවර, වට්ටාරන්තැන්න, පොල්ගොල්ල, වත්තේගම ආදී ප්‍රදේශවලින් දින 03ක් පුරා තරුණ කාන්තා මළ සිරුරක් පාවී යනවා යැයි යන හෝඩුවාව මත චන්දිමාගේ ඥාතීන් ඒ පිළිබඳවද සොයා බැලීම් සිදුකරන අතර, එම සිරුර ලේවැල්ල ප්‍රදේශයේ රැඳී තිබීම ගැන  මෙන්ම පොල්ගොල්ල ජලාශයෙන් පහළට වැටුණු බවට යුද හමුදා සෙබළෙකුගේ ප්‍රකාශයක් පිළිබඳවද අවධානය යොමු කර ඇත.

මේ පිළිබඳව ගම්පොළ පොලීසිය විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති  අතර ඒ සම්බන්ධයෙන්, කටුගස්තොට, වත්තේගම, කුණ්ඩසාලේ, තෙල්දණිය යන පොලිස් ස්ථානද දැනුවත් කොට ඇත.මෙම ගුරුවරු ගම්පොල
පොලීසියේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සමග විවාහ ගිවිසගෙන සිටින අතර මෙම මස 29දා ඔවුන්ගේ නම් ලියාපදිංචියටද යොදාගෙන තිබී ඇති බවද වාර්තා වෙයි.

-සුරංග දිල්හාන්-