https://www.gossiplankanews.com/2019/10/gampola-teacher-missing-story.html
සුගිය වසර 3ක සිට හැටන් ශ්‍රී  පාද විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය හදාරන සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ඉතා ඉහළ අගයක් ගනු ලැබීය.  මෙම තත්ත්වය විදුහල්පති වසන්ත කවිරාජ් මහතාට මහත් අස්වැසිල්ලක් වූයේ මෙයින් පාසලට මහත් අභිමානයක් ගෙනදීමට නොවේ. වතු ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි මෙම පාසලෙන්
ප්‍රදේශයේ දරුවන්ටද
මහත් යහපතක් වනු දැකීම නිසාය.

මෙම සියලු කාරණාවලට හේතු වී තිබුණේ එම පාසලට නවක පත්වීමක් ලැබ පැමිණි චන්දිමා නිසංසලා
රත්නායක ගුරුවරිය බව විදුහල්පතිවරයා පමණක් නොව මුළු පාසලම හා ප්‍රදේශවාසීහුද දැන සිටියහ.

දැනුම පාදක කර ගත් පාසල් පද්ධතියක නිපුණතාව ඉහළ අඩියකට ගෙන යන්නේ කෙසේද යන්න දන්නා
විදුහල්පතිතුමා මේ නිසාම නිසංසලා ගුරුතුමියට පාසලේ 6 වැනි ශේ්‍රණිය භාර කළේය.

කවදත් නිහඬ චරිතයක් වූ චන්දිමා නිසංසලා ගුරුතුමිය වැඩට දක්ෂයකු වූවාය. මේ නිසාම ඇය තමාට
පැවැරුණු රාජකාරිය හොඳින් කරමින් ඉන් නොනැවතී පාසලේ අනෙක් දරුවන්ගේද නැණස පෑදීමට උත්සාහ
දැරුවාය.

අපොස (සා.පෙ.) දරුවන් ගැන හොඳින් දන්නා ඇය විවේක ලද මොහොතක පවා ඔවුන්ගේ විභාගයට
අවශ්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය මෙන්ම එදිනෙදාට අවශ්‍ය ඉංග්‍රීසි වචන ටික වැඩිදියුණු කිරීමට නිරන්තරව
උත්සාහ දැරුවාය.

නිසංසලා රත්නායක උපාධිධාරිනියකි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එම උපාධිය සම්පූර්ණ කර තිබුණේ
ඉංග්‍රීසි මාධ්‍යයෙනි. මේ නිසාම ඇයට ටික කලකින් ගුරු පත්වීමක් ලැබිණි.

හැටන් කලාපයේ පාසලක මේ අයුරින් ඇය වැඩ කළද නිසංසලා උපන්නේ ගම්පොළ කීරපන ප්‍රදේශයේය.


ඇගේ නිවෙසේ සිට පාසලට කිලෝමීටර් 60ක් පමණ යා යුතුව ඇත. ඒත් ඇය එම කටයුත්ත දිනපතා
විනෝදයෙන් සිදුකළේ අෑ සමඟ යන අනෙකුත් යෙහෙළියන්ද සමඟිනි.

වර්ෂාව සමඟ සීතල අධික හැටන් ප්‍රදේශයට අලුයමින් ගම්පොළින් පිටත්ව යන ඇය සවස පහට කලින් යළිත්
ගම්පොළ නිවෙසට පැමිණෙන්නීය.

මේ ආකාරයට පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා සුපුරුදු ලෙස ඇය හැටන් සිට ගම්පොළට ඒමට පිටත් වූවාය.
සුපුරුදු පරිදි ඇගේ යෙහෙළියක් වන සාවිත්‍රි ගුරුතුමිය ඇතුළු පිරිස හැටන් - මහනුවර බසයට ගොඩවූවාය.
ඇය ගම්පොළදී සියල්ලන්ගෙන් සමුගෙන ගම්පොළ බස් නැවතුමේ බැස ගත්තාය. මේ ස්ථානයේ සිට නිවෙසට
මීටර් 200ක් නොමැත.

මේ දිනවල කඳුකර ප්‍රදේශයට අධික වර්ෂාවක් පවතින අතර සවස් කාලයට වැසි තරමක් වැඩි වන්නේ තද
මීදුමද සමඟිනි. නිසංසලා නිවෙසට යෑමට සූදානම් වනවිට වර්ෂාවද ආරම්භ වී තිබූ අතර ඇය කුඩයද
ඉහලාගෙන ගමන ඇරැඹුවාය. ගම්පොළ දුම්රිය පොළ ආසන්නයේ කීරපන රේල් පාරද මාරු වී ඇය නිවෙසට
යෑමට ඇති අතුරු මාර්ගය දෙසට යා යුතුය. ඒ ගම්පොළ ඉගෙනුම උසස් අධ්‍යාපන ආයතනය අසලින්ය. ඇය
එම අතුරු මාර්ගයේ ගමන් කරන අයුරු මෙම ආයතනයේ සීසීටීවී කැමරාවේද සටහන් විය. එය සවස 4යි
විනාඩි 6ක් ලෙසය. එතැන් සිට නිවෙසට ඇත්තේ තවත් මීටර් 100කටත් අඩු ප්‍රමාණයකි. 27 හැවිරිදි
නිසංසලාට සිටින්නේ මල්ලි කෙනකු පමණි. තාරක රත්නායක නමැති ඔහු මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ
උසස් පෙළ සිසුවෙකි.

මව වන චන්ද්‍රා ජයවීර ගම්පොළ නගර සභාවේ ආයුර්වේද අංශයේ රැකියාව කරන අතර පියා සරත්
රත්නායකයි.

සවස 5.30ට පමණ වී තිබියදීත් නිසංසලා නිවෙසට නොපැමිණියාය. වෙනදා තම දියණිය නිවෙසට පැමිණෙන
වේලාව පසුවී ඇති නිසා මව මඳක් කලබල වූයේ ඒ වනවිට දැඩි වර්ෂාව සමඟ රෑ බෝවීගෙන ආ නිසාය.

ඇය දියණියගේ ප්‍රමාදයට හේතු සොයන්නට වූවාය. සමහර විට ලෝක ළමා දිනය නිසා පාසලේ උත්සවයක්
ඇත්දැයි ඇය කල්පනා කළාය. එසේ නැත්නම් පාසලේ රැස්වීමක් ඇත්දැයි ඇය කල්පනා කළාය. තවත් බලා
සිටීමට නොහැකිවූ ඇය පාසලේ විදුහල්පතිතුමාට දුරකථන ඇමතුමක් ගෙන සිය දියණිය පිළිබඳව විමසුවාය.

විදුහල්පතිතුමාගේ පිළිතුර වූයේ ඇගේ අනෙක් යහළුවන් සමඟ පාසල ඇරී ඇය ගිය බවය. එයින් කලබල වූ මව
මේ පිළිබඳව ඥාතීන්ට හා අහල පහළ අයට දැන්වූවාය.

මඟතොට විපරම් කළ මේ පිරිසට නිසංසලා පිළිබඳව තොරතුරක් නොවූයෙන් ගම්පොළ පොලිසියට දැන්වූහ.
ගම්පොළ පොලිසියද ඇත්තේ නිසංසලාගේ නිවෙසේ සිට මඳ දුරකිනි. ඒ අනුව පොලිස් නිලධාරීහුද පැමිණ ඇය
සෙවීම ආරම්භ කළහ.

නිසංසලා නිවෙසට යන මාර්ගයේ එක් පසෙක කොන්ක්‍රීට් කානුවකි. වර්ෂාව පවතින විට පමණක් මෙහි ජලය
ගමන් කරයි. මෙම කානුවට කොන්ක්‍රීට් ආවරණ යොදා වසා තිබුණත් බොහෝ ස්ථානවල එසේ නොමැති අතර
සමහර ස්ථාන දැඩි අවදානම් සේ පවතින අයුරුද දක්නට ලැබිණි.

මේ නිසාම ඇතිවූ සැකය මත ගමේ පිරිස වසා ඇති ස්ථාන කීපයකින් කොන්ක්‍රීට් ලෑලිද ගලවා විපරම්
කළහ. නමුත් ඒ කිසිම තැනක ඇය පිළිබඳව හෝඩුවාවක් නොවීය. ඒ අනුව අවට ලඳු කැලෑ මෙන්ම සැක
සහිත නිවාසද පරීක්ෂා කෙරිණි. නිසංසලා කියා ඇය පැලඳ සිටි සෙරෙප්පුවක්වත්, කුඩයක් හෝ ඇය රැගෙන
ගිය බෑගයවත් හමු නොවිණි.   මේ නිසා ඥාතීහු එක්ව ඉගෙනුම අධ්‍යාපන ආයතනයේ සීසීටීවී කැමරාව
පරීක්ෂා කළහ. එහි තිබූ නිසංසලාගේ රුව දැකීමෙන් ඇය නිවෙස කරා ගමන් කරමින් සිටි බව පැහැදිලි විය.

පසුදා ඇය පිළිබඳ තොරතුරක් නොලද නිසා පොලිසිය මඟිින් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කර ඇත.

මේ වනවිට නිංසසලා විවාහ ගිවිසගෙන තිබිණි. ඒ ගම්පොළ පොලිසියේ සේවය කළ උප පොලිස්
පරීක්ෂවරයෙකි. සංජීව සුරේෂ් නමැති මොහු මේ වනවිට මන්නාරම ප්‍රදේශයේ සේවය කරමින් සිටියේය.


නිසංසලා අතුරුදන් වන විට සංජීවද නිවාඩු ලබා ඔහුගේ හොරණ නිවෙස වෙත පැමිණ සිටියේය.

නිසංසලාගේ අතුරුදන්වීම දැනගත් ඔහුද වහාම ගම්පොළ ප්‍රදේශයට පැමිණ ඇය සෙවීමේ කටයුත්තට දායක
විය.

නිසංසලා හා සංජීවගේ විවාහය ලියාපදිංචියට දින යොදාගෙන තිබුණේද මෙම මස 29 වැනිදාය. ඒ
සඳහා සූදානමින් සිටියදී නිසංසලා අතුරුදන්වීම හිතා ගැනීමට නොහැකි දෙයක් බව සංජීව පැවැසීය. මේ
නිසා මොවුහු විවිධ පැති ඔස්සේ නිසංසලා සෙවීම ආරම්භ කළහ.

නීතියේ පිහිට සොයන අතරේ නිසංසලාගේ මව ඇතුළු ඥාතීහු ගුප්ත ශාස්ත්‍රවලද පිහිට පැතූහ. ඔවුහු ස්ථාන
කීපයකින්ම ශාස්ත්‍ර ඇසූහ. අඳුන් බැලීය. ඒ සෑම තැනකින්ම කියා ඇත්තේ නිසංසලා තැනක සිරකරගෙන
සිටින බවය.

මේ අතර ගම්පොළ පොලිසියද අධිකරණ ක්‍රියාවලිය තුළින් ඇගේ දුරකථන වාර්තා රැගෙන පරීක්ෂා කිරීම
ආරම්භ කළ අතර බුද්ධි අංශ නිලධාරීහු හා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ විධිමත් කළහ.

නිසංසලාගේ අතුරුදන් වීමෙන් සිවුවන දිනටද කිසිම හෝඩුවාවක් නොලද අතර මේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය
මඟින්ද ප්‍රසිද්ධ වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ගම්පොළ - කටුගස්තොට ධම්මික ගුණවර්ධන සහෝදර
මාධ්‍යවේදියා අප හට අපූරු තොරතුරක් සැපයුවේය. “මචං මහවැලි ගඟ දිගේ තරුණ කාන්තා මළ සිරුරක්
ගහගෙන යනවා. ඒක දැන් සියඩෙල් හෝටලය ළඟ රැඳිලා තියෙනවා. මම එතෙන්ට යනවා. මට හිතෙන්නේ
උඹලගේ ටීචර් තමයි” කියලා.

“හරි ඔයා ගිහින් හැඩරුව බලලා අපට කියන්න” අපි පිළිතුරු දෙන ගමන් මේ පිළිබඳව නිසංසලාගේ
මවුපියන්ට නොකියා ඇගේ ඥාති නිවෙසකට මේ බව පැවැසුවෙමු. කලබල නොවන ලෙසත් අපේ යහළුවා
හැඩරුව බලලා කීව ගමන් අපි දැනුම් දුන්නාම මවුපියන්ට පවසන ලෙසත් දැන්වීමු.

නමුත් ඊළඟට ධම්මිකගෙන් ලැබුණේ බලාපොරොත්තු නොවූ පිළිතුරකි. “මචං ගඟේ වතුර වැඩියි. බොර වතුර
යන්නේ. ඒ මිනියත් එතැනින් ගහගෙන ගිහින්. මම ලේවැල්ල පාලම ළඟටත් ගියා. එතැනිනුත් පහළට ගියා.
මෙතැන ආමි එක, පොලිසිය ඉන්නවා. ඒත් ඒ අය වෙන කොහේදෝ යන අය. මිනිය ගන්න කවුරුත් උනන්දු නෑ.”

ඉන්පසු අපට දැන ගන්නට ලැබුණේ ගඟ දිගේ පහළට ගිය සිරුර පොල්ගොල්ල ජලාශයෙන් පහළටද වැටී
අතුරුදන් වූ බවයි.

මේ මළසිරුර පිළිබඳව අපගේ දැනුම්දීම මත නිසංසලාගේ ඥාති නිවෙසේ අය කාටත් හොර රහසේ නුවර
කටුගස්තොට ප්‍රදේශයට ගොස් ගඟ දිගේම බලා වත්තේගම දක්වා ගොස් සෝදිසි කිරීමේදී මෙම කරුණ තහවුරු
වී ඇති බව දැන්වූහ.

ගම්පොළ පොලිසියද මෙම මළ සිරුර පිළිබඳව වත්තේගම, කුණ්ඩසාලේ, තලාතුඔය හා තෙල්දෙණිය පොලිස්
ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

නිසංසලාගේ අතුරුදන් වීමෙන් දැන් දින 7ක් ගත වී ඇත. 7 වැනි දින සවස තෙල්දෙණිය පොලිසිය වෙත
ධීවරයකුගෙන් තොරතුරු ලැබුණේ වික්ටෝරියා ජලාශයේ හාරගම දෙසට වන්නට කාන්තා මළ සිරුරක් ඇති
බවය. ඒ අනුව තෙල්දෙණිය පොලිසිය මේ බව තලාතුඔය පොලිසිය දැනුවත් කළ අතර තලාතුඔය පොලිසිය
සවස 6ට පමණ ඒ බව ගම්පොළ පොලිසියට දැන්විය.

ගම්පොළ පොලිසිය ඒ අවස්ථාවේම නිසංසලාගේ බාප්පාද කැටුව එම ස්ථානය බලා ගියේ ගමනට අවශ්‍ය
සියලු දේද රැගෙනය.

මළසිරුර ඇති ස්ථානය වෙත යෑමේදී රාත්‍රි 8ට පමණ පොල්ගොල්ල ප්‍රදේශයෙන් කිමිඳුම්කරුවන් දෙදෙනකු
රැගෙන ගිය පොලිසිය ධීවරයාගේ ඔරුව සමඟ මළ සිරුර අසලට ගොස් එම සිරුර ගොඩගන්නා විට රාත්‍රි
10ට ආසන්න වී තිබිණි. මෙහිදී නිසංසලාගේ බාප්පාටද එම සිරුර හඳුනාගැනීමට නොහැකි විය.

සිරුර ගොඩගෙන තලාතුඔය පොලිසිය මඟින් ආරක්ෂාව යොදවා පසුදා නිසංසලාගේ මවුපියන් හා ඥාතීන්
මෙන්ම ඇය විවාහ ගිවිස ගෙන සිටි සංජීව සුරේෂ්ද එම ස්ථානයට කැඳවා සිරුර හඳුනා ගැනීමට සැලැස්විය.

දින 7ක්ම ජලයේ තිබූ සිරුර බෙහෙවින් විකෘති වී තිබූ අතර ඇය හැඳ සිටි සාරියේ කොටසක් සිරුරේ රැඳී
තිබුණේය. අතේ බැඳගෙන තිබූ කහපාට නූල හා හැට්ටය අනුව සිරුර නිසංසලාගේ බව මවුපිය ඥාතීහු
හඳුනාගත්හ.

ගම්පොළ පොලිසියේ නිලධාරීහුද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකළ අතර ගම්පොළ අපරාධ අංශ
ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ගම්පොළ දිසා විනිසුරු ශ්‍රී නිත් විජේසේකර මහතාගෙන් මේ පිළිබඳව
නියෝගයක්ද ගනු ලැබීය.

ඒ අනුව 8 වැනි දින පස්වරුවේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණ අංක 2 මහෙස්ත්‍රාත් එම්.සරික්ඩීන්
මහතා එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. එහිදී සාක්ෂි ලබාදුන් නිසංසලාගේ
පියා වන වීරසිංහ මුදියන්සේලාගේ රත්නායක මෙසේ පැවැසීය.

“මගේ දුව හරි අහිංසක කෙනෙක්. එයා විවාහ වෙන්නයි හිටියේ. දුවට වූ විපත පිළිබඳව විධිමත්
පරීක්ෂණයක් කරන්න කියායි මම ඉල්ලන්නේ. අපට ඇත්ත දැනගන්න ඕනෑ.”

නිසංසලාගේ බාප්පා කෙනකුද එහිදී මෙසේ සාක්ෂි ලබා දුන්නේය.

“නිසංසලා දුව අතුරුදන් වුණාට පස්සේ මට මුල ඉඳලම සැකයක් තිබුණා දුව කානුවට වැටිලා ගහගෙන
යන්න ඇති කියලා. පවුලේ අනෙක් අය යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත දේවල්වලින් පිහිට පැතුවා. මට
තොරතුරු ලැබුණු තැන්වලට ගිහින් මම හොයලා බැලුවා.” මීට දින කීපයක් තිස්සේ මහවැලි ගඟේ පාවෙලා
යනවා කිව්ව මළසිරුර ගැනත් හොයලා බැලුවා.

චන්දිමා නිසංසලා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයෙනි.
ඇය අපොස සා.පෙළ විභාගය සමත්වීමෙන් පසු මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට ඇතුළත්ව එහිදී
උසස් පෙළ හදාරා මෙසේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය
සම්පූර්ණ කොට ඇත.

නිසංසලා පිළිබඳ අදහස් දැක්වූ ඇගේ මව වන චන්ද්‍රා ජයවීර මහත්මිය

“මට ඉන්නේ දුවයි පුතයි. දුව ඉගෙන ගන්න දක්ෂ නිසාම එයා තැනකට ආවා. දුවට ගුරු පත්වීමක්
ලැබුණා. ඒ මුල්ම පත්වීම ලැබුණේ හැටන් ශ්‍රී  පාද විද්‍යාලයට. එයා බඳින්න තීරණය කරලා නම්
ප්‍රසිද්ධ කරලා තිබුණේ. ඒ පුතා පොලිසියේ කෙනෙක්. මේ මාසේ 29 දින රෙජිස්ටර් කරන්න ලෑස්ති කරන්
තිබුණේ. දුවට මොනවා වුණාද කියලා අපට හිතා ගන්න බෑ.”

නිසංසලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේ ඇය ගෙල බැඳි පවුම් 3ක් වූ රන් මාලයද ඒ අයුරින්ම
ගෙලේ තිබී ඇති අතර ඉදිමී තිබූ සිරුරට එය වැසී ආරක්ෂා වී තිබූ බව ගම්පොළ අපරාධ අංශ
ස්ථානාධිපතිවරයා පැවැසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු නිසංසලාගේ සිරුර ගම්පොළ ඇගේ ගම් ප්‍රදේශයට ගෙන ආ අතර ඇගේ
ඥාතීන් හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ සමඟම දේහය ගම්පොළ පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් ඇත.


විස්තර හා ඡායාරූප
ගම්පොළ - මාධව බණ්ඩාර