https://www.gossiplankanews.com/2019/10/abdul-rasik-gotabhaya-hisbullah.html
සිලොන් තවුහිද් ජමාත්  නමැති මුස්ලිම් සංවිධානයක් නියෝජනය කරමින් මීට ටික කලකට පෙර බුදු දහමට අපහාස කරන ලද බවට චෝදනා එල්ලවූ අබ්දුල් රාසික් ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයාට සහාය දක්වන බවට පළවන වීඩියෝවක් නිසා
ආන්දෝලනයක් ඇතිව තිබේ.
බුදුරජාණන් වහන්සේ මිනීමස් කැවායයි කීම, තෙරුවන් යනු ගල් තුනක් යැයි කීම,සාරා නැමැති හින්දු ජාතික තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අන්‍යආගමිකකරණය යන චෝදනා මත අබ්දුල් රාසික් ගැන පසුගිය කාලයේ විවිධ කතා ඇතිවූ අතර ඔහු අන්තවාදී මුස්ලිම් සංවිධානයක් නියෝජනය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධය.
ගෝඨාභය රාජපක්ෂට ඔහු සහය දක්වන බවට සෘජුවම ප්‍රකාශ කරන්නේ අශේන් ව්ලොග්ස් නමැති යුටියුබ් වීඩියෝ නාලිකාවට එක්වෙමිනි. ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් එහි දැක්වේ.
කෙසේ වෙතත්

මෙම ආරංචිය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුමටද ඒ ගැන කතා කරන්නට සිදුව තිබේ. ඔහු පවසන්නේ මෙම කතාව අසත්‍යයක් බවයි. තම කණ්ඩායමට සහාය දක්වන බවට අබ්දුල් රාසික් පවසා නැති බවත් ඔහුගේ සහාය ලබාගන්නා බවට පතුරුවා ඇති ආරංචිය සිය විරුද්ධ පිල අපහාසය පිණිස යොදාගත් තුරුම්පුවක් බව ඩලස් අලහප්පෙරුම පැහැදිලි කර තිබේ. අශේන් ව්ලොග්ස් මුදලට එජාපයට සහාය දක්වා ඇති බවට යූටියුබ් තුළ වෙනත් වීඩියෝ මගින් චෝදනා කර තිබේ.

මේ අතර පසුගිය පාස්කු ප්‍රහාර සමයේ අන්තවාදීන්ට රැකවරණ සැපයූ අයෙකු ලෙස චෝදනාවට ලක්වූ පසුව නැගෙනහිර ආණ්ඩුකාර ධූරයෙන් පවා ඉවත්වන්නට සිදුවූ හිස්බුල්ලා මෙවර ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස වෙනම තරග වැදුණත් ඔහුගේ අනුගාමිකයින්ගේ ඡන්ද සියල්ල ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ලබාදීමට සූදානමින් සිටින බවට එස්බී දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකදී විස්තර කර තිබීමද ආන්දෝලනයට තුඩුදී ඇත.

මෙම චෝදනාවද ඩලස් අලහප්පෙරුම ප්‍රතික්ෂේප කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය වෙත යොමු කර ඇති පණිවිඩයකින් පවසා ඇත්තේ මෙම කතාව අසත්‍ය බවත් ජනපතිවරණයේ අපේක්ෂකයෙකුට තවත් අයෙකු ප්‍රවර්ධනය කිරීම හෝ සහාය දැක්වීම නීතියටද පටහැණි බවයි.