https://www.gossiplankanews.com/2019/10/drug-case-dehiwala-zoo.html
දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයෙකු ඇතුළු හත් දෙනකු රුපියල් ලක්ෂ 70 ක පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 683ක්, විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම් උණ්ඩ පහක්ද සමඟ පෙරේදා (16) රාත්‍රියේ
අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

දෙහිවල කටුබැද්ද හා කවුඩාන යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබි හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 20ක මුදලක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කන්දවුරේ විශේෂ වැටලීම් ඒකකයේ භට කණ්ඩායමකට ලැබුණු තොරතුරක් අනුව කසුන් ෂෙහාන් කළුවිතාරණ (34) නමැත්තා හෙරෝයින් ග්‍රෑම් 100ක් සමක පෙරේදා රාත්‍රියේ දෙහිවලදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගෙන් හෙළිවූ තොරතුරු අනුව දෙහිවල

සත්ත්ව උද්‍යානයේ සේවකයෙකු වන නාලක පුෂ්පකුමාර (41) නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

එම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව සත්ව උද්‍යානයේ ඔහුගේ බඩුබාහිරාදිය දමන කබඩි ලාච්චුවේ තිබි තවත් හොරොයින් ග්‍රාම 400 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මම සැකකරුවන් දෙදෙනාගෙන් දිර්ඝලෙස ප්‍රශ්න කිරිමේ දී හෙළි වූ තොරතුරු අනුව කටුබැද්ද ප්‍රදේශයේ සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ සිටි තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද රුවන් ගුණස්කර මහතා කියා සිටියේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මෝල්පේ පදිංචි රනුජ පාලිත රණතිස්ස (41) (රථයේ රියදුරු) හා අම්බලන්ගොඩ රුහුණු රිදිගම පාලර් පදිංචි සුක්සුදීන් මොහොමඩ් ජුනේදින් (34) යන දෙදෙනාය.

සැකකරුවන් හා ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය පරික්ෂා කිරිමේදී සැකකාර රියදුරන් සතුව තවත් හෙරොයින් ග්‍රෑම් 68ක් තිබූ අතර අම්බලන්ගොඩ පදිංචි මොහොමඩ් ජුදින් නැමති සැකකරු ළග තිබී තවත් හොරොයින් ග්‍රෑම් 15ක්, විදේශයක නිෂ්පාදිත නවීන පිස්තෝලයක්. මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 5 ක්, සොයාගත් බව ද රුවන් ගුණස්කර මහතා සඳහන් කළේය.

මොවුන් කුලී පදනම මත මෙම වාහනය ලබාගෙන ඇති බවත් ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් ජුදීන් නැමැත්තා අම්බලන්ගොඩ සිට ඉකුත් 12 වැනිදා දෙහිවලට පැමිණ කටුබැද්ද ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටි පුද්ගලයකු බව ද විශේෂ කාර්යබළකාය පවසයි.

මොවුන් ගිනි අවි සමග රැඳී සිටියේ කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුනින්දැයි යන්න හෙළිකර ගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය පරීක්‍ෂණ පවත්වයි.

මෙම සැකකරුවන් ජාවාරම්කර ඇත්තේ මහපරිමාණයන් හා

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින ජාවාරම්කරුවකු දෙහිවල "චූවා සමන්ත" නැමැත්තාට අයත් මත්කුඩු බවත් කිසිවකුටත් නොදැනන අයුරින් මෙම හොරොයින් සඟවා තිබි ඇත්තේ දෙහිවල සත්ත්වඋද්‍යානයේ සේවකයාගේ ලාච්චුවේ බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

සමන්ත නමැත්තා බන්ධනාගාරයේ සිට ලබාදන ඇණවුම් අනුව කසුන් ශෙහාන් නමැත්තා සත්වෝද්‍යාන සේවකයාගෙන් අවශ්‍ය ප්‍රමාණය ලබාගෙන ඒවා පැකට් කර දෙහිවල අවට ප්‍රදේශ වෙත බෙදා හැර ඇති බවට
තොරතුරු ලැබී ඇති බව ද එම බළකාය කියයි.

මෙම ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් කීපදෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ජාවාරම සමිබන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් ඒකකය භට කණ්ඩායමක් මාස 6ක පමණ කාලයක් පුරා සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබුණි.

සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසයට භාරදී ඇත.

(ඉන්දිකා රාමනායක, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ බණ්ඩාරගම බිමල් ගමත් ජයසිංහ,අලුත්ගම තුසිත කුමාරද සිල්වා)