ජනාධිපතිවරණයේදි ඡන්ද මධ්‍යස්ථානවල පාවිච්චිය සඳහා නොමැකෙන තීන්ත (indelible ink) අඩංගු පෑන් 50,000 ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වෙන් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

මේ මුදල්
ඉදිරි දින කිහිපයේදි අදාළ සමාගමට ගෙවීම් කරන බවත් මෙම පෑන් ඉදිරි සතියේදී මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

ඡන්ද මධ්‍යස්ථානවලදී මෙම නොමැකෙන තීන්ත පාවිච්චි කරන්නේ ඡන්ද දායකයනගේ ඇඟිලි පාට කිරීම සඳහාය. මැතිවරණ දූෂණික හා අක්‍රමිකතා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ අතර ජනාධිපතිවරණයේ වියදම් සඳහා අද (18) දිනයේදී මහා භාණ්ඩාගාරයෙන් තවත් රුපියල් කෝටි 15ක පමණ මුදලක් ලැබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ වියදම රුපියල් කෝටියකට වැඩි විය හැකි යැයි මැතිවරණ නිලධාරීහු පවසති. මින් රුපියල් අසූ ලක්ෂයක මුදලක් මේ මාසය මුලදී නිකුත් කරන ලදැයිද එම නිලධාරියා සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ