https://www.gossiplankanews.com/2019/10/15203-15203A-gotabaya-citizen-case.html
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරන බලපත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා
අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී විවිධාකාර පරස්පර කාරණා කිහිපයක් මේ වනවිට වාර්තාවී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්වත්ව පුරවැසි අංකය වන 15203 යන්න පරිගණක දත්ත වෙත යොමු කළ විට වෙනත් පුද්ගලයෙකුගේ නමකට අදාළ ලිපිගොනුවක් පෙන්වන නමුත් 15203 A යනුවෙන්  එම අංකයටම ඒ අකුර යොදා ගැසූවිට ගෝඨාභයගේ නම එන බවත්
 අධිකරණයේදී අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ සිදු කළ කරුණු දැක්වීම අනුව මෙම අංකය දත්ත ගොනුව තුළ තිබන අංකයකට පිටතින් අංකයක් එක්කාසු කිරීමක් යයි හැඟෙන බව දන්වා ඇත.
මීට පෙර ආගමන විගමන පාලක දන්වා තිබුනේ ගෝඨාභයගේ අයදුම් පත් සහිත ලිපි ගොනු තම කාර්යාලයේ නැති බවයි.
15203 A  අංක දරන ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගමන්

බලපත්‍ර 4ක් භාවිත කර ඇති බවත් පැරණි ජාතික හැඳුනුම්පතක් හා නව ජාතික හැඳුනුම්පතක් භාවිත කර ඇති බවත් අධිකරණයේදී හෙළි වී තිබේ. එමෙන්ම ඔහු නව ජාතික හැඳුනුම්පත ලබාගත් පසුවද වෙනස් අංක සහිත පැරණි හැඳුනුම්පත තම අනන්‍යතාව වෙනුවෙන් භාවිත කර ඇති බවද එහිදී හෙළිදරව් වී ඇත.

එමෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා අධිකරණයට දන්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ 2005දී ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් ස්වදේශ කටයුතු අමාත්‍ය වෙත ඉදිරිපත්ව නොමැති බව ය.

 විදානපතිරණ ඇසෝසියේටිස් නීතිඥ සමාගම මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇති පෙත්සම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැර ඇමරීකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා පසු අවස්ථාවක යළිත් වරක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරී ජනාධිපතිවරණයට තරග කරන බව දැනගන්නට ලැබුණු බවත් සඳහන් කොට ඇත.

නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ඔහු නැවත ලබාගෙන නැති බවත්, එය භාවිත කරමින් 8305500 දරණ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් සහ අංක 194917210010 දරණ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇති බව දැනගත්තට ඇති බවත්, ඔහු පුරවැසිභාවය ලබාගැනීමට හෝ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට අදාළව අදාළ ආයතනවල ලිපිගොනු පවත්වාගෙන ගොස් නැති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන අයෙකුට ජනාධිපති ධුරයට පත්විය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 සහ 89 (ඒ) දරණ වගන්තිවල සඳහන් බව පෙන්වා දෙති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අයදුම් කර ඇත්තේ 2005 වසරේ නොවැම්බර් 18 -24 කාලයේදී වන අතර, ඒ කාලයේ එම අමාත‍ාශය ලේකමිවරයකු නොසිටි බවද ගෝඨාභය මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකයෙහි ලේකම් වෙනුවට ඒ වනවිට අගමැති ලෙස කටයුතු කර ජනපතිවරණය ජයගත් විගසම සිටි මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කොට ඇතැයිද පවසන පෙත්සම්කරුවෝ මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළ සහතිකය නිත්‍යානුකුල නොවන බවද පවසති.

 ඒ අනුව එම ද්විත්ව පුරවැසි සහතිකය භාවිත කර ගෝඨාභය රාජපක්ෂ මඟතා ලබාගෙන ඇති විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යනුකූල නොවන්නේ යැයි ඔවුන් තර්ක කර තිබේ.


රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ චානක ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තියේ සඳහන්ව ඇතැයිද, ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් ලෙසට කියවා තේරුම්ගත යුතු බවද පැවසීය.

නීතිපතිවරයා සිය කරුණු දැක්වීමේදී අදාළ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලය ඇති බව පැවසූ බවත්, නමුත් මුලින් කළ යුත්තේ විධායක ජනාධිපතිවරයාට පූර්ණ බලයක් ඇත්දැයි සොයා බැලීම බවත් කී නීතිඥ චානක ද සිල්වා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අවධානය යොමු කිරීමේදී එය උත්තර ලියවිල්ලක් බව එහි සඳහන්ව ඇතැයි පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව ජනාධිපතිවරයා සිය ධුරයේ රාජකාරී කිරීමේදී පාර්ලිමේන්තුවට වගකිවයුතු බව සඳහන්ව ඇතැයිද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වගන්තියේ සඳහන් වන්නේ විධායක බලතල කැබිනට් මණ්ඩලයක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු බව යැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා, පසුගිය වසරේ ඔක්තෝබර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇති බව නීතිපතිවරයා පවසා සිටියද ශ්‍රේෂ්ඨාධිකරණයේසත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවට තීන්දු කළ බව පැවසිය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරීපත් කරමින් විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බවත්, එහිදී අමාත්‍යවරුන් පත් කරලීම සහ අමාතයාංශවල කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවත් පැවසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපති ධුරයේ කටයුතු කරන පුද්ගලයකුට ඔහු සිය ධුර කාලයේ සිදු කරන ක්‍රියාවන් සඳහා මුක්තියක් හිමිව ඇති බවත්, ඔහුගේ කටයුත්තක් අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවත් පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, අභූත චෝදනා මත ගොනු කර ඇති මෙම රීට් පෙත්සම මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභා කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම කරුණු දැක්වීම් සලකා බලා අද සවස 6 ට විනිසුරුවන්ගේ අවසන් තීන්දුව ලබාදීමට නියමිතය.