අලුත් පන්දුවේ වාසිය ලබාගැනීමට සිය කණ්ඩායමට නොහැකි වූ බවත්, ඒ නිසා පළමු පන්දුවාර දහයේදීම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිලිහී ගිය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පැවසීය.

ශ්‍රී ලාංකාව හා පාකිස්තානය අතර කරච්චි ජාතික ක්‍රීඩාංගිණියේ පෙරේදා (02දා) රාත්‍රියේ අවසන් වු තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ධනුෂ්ක පවසා සිටියේ, කණ්ඩායම ලැබූ ප්‍රතිඵලය පිළිබඳ සතුටු නොවුණද, පාකිස්තානය වැනි එක්දින තරගවලදී ශක්තිමත් කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් ක්‍රීඩාකළ ආකාරය පිළිබද සතුටුවිය හැකි බවයි.

ශ්‍රී ලංකාවෙන් තරගය ගිලිහී ගිය ආකාරය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ධනුෂ්ක,
"පළමු පන්දුවාර දහය තුළදී අශපන් තරගය ගියා.
අපේ දුර්වල පන්දුවලට ඔවුන් හරී
ලේසියෙන් ලකුණු ලබාගත්තා. අපට අලුත් පන්දුඬින් ලබාගන්න තිබුණු වාසිය අපි හරීයට ගත්තේ නැහැ කියලා මම හිතනවා. තරගයේ 46 වැනි පන්දුවාරය වෙනකොට පන්දු යවන්නෝ අපේ පැත්තට තරගය අරගත්තත්, තරගයේ අවසානයේදී හොඳ තීරණයක් ගන්න බැරී වුණා".

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බොහෝ ක්‍රීඩකයන් හට විදුලි ආලෝකය යටතේ ක්‍රීඩා කර අත්දැකීම් නොමැතිවීම පන්දු රැකීම දුර්වල මටිටමක පැවතීමට හේතුවක් වූ බව ධනුෂ්ක මෙහිදී පැවසීය.
“පන්දු රැකීම ඇත්තටම 100%ක් හොඳින් තිබුණේ නැහැ. නමුත් කණ්ඩායමේ දෙතුන් දෙනෙක් ඇරෙන්න ගොඩක් ක්‍රීඩකයෝ විදුලි ආලෝකය යටතේ වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා නැහැ. තවම තරග 15ක්වත් ක්‍රීඩා කළ නැති අය ඉන්නේ. ඒ වගේම අපි පාකිස්තානයට එන්න පෙර තිබුණු පීඩනය වැනි කාරණා එක්ක මේ වගේ රටකට ඇවිල්ලා ක්‍රීඩා කරන එක මම හිතන්නේ ලේසි නැහැ. කෙසේ නමුත් මේක අත්වැරදීම්වලට සමාවක් දෙන කාරණයක් නෙමෙයි."

මාස කිහිපයකට පසු නැවත කණ්ඩායම් ස්ථානය තහවුරු කරගත් ධනුෂ්ක, සිය දක්ෂතා අතරට පැමිණීම පිළිබඳව මෙසේ පැවසීය.
"මම අවසන් එක්දින තරගය ක්‍රීඩා කළේ නවසීලන්තයේදී ජනවාරී මාසයේදී. ඉන් පසු ආබාධ වෙලා මාස හතරක් පහක් යනකම ක්‍රීඩා කරන්න බැරි වුණා. නමුත් අන්තිම මාස දෙකේ පන්දුවට පහරදීමේ කටයුතු හොඳින් සිදුකළා. ඒ වගේම මම හිතුවා මේක (පාකිස්තාන තරගාවලිය) මගේ දක්‍ෂතා එළි දක්වන්න හොද අවස්ථාවක් වෙයි කියලා.

ක්‍රීඩා කරන හැම වෙලාවේම මගේ මනස හොදින් තියාගෙන ක්‍රීඩා කළා. ක්‍රීඩා කරන සෑම දවසක්ම මගේ දවස කරගන්න තමයි මම කොහොම හරි බලන්නේ.

කෙසේ නමුත් අපට අවශය වුණේ තරගය දිනන්න. මේ ලැබුණ ප්‍රතිඵලය ගැන කණ්ඩායම සතුටු නැහැ. පාකිස්තානය කියන්නේ එක්දින තරගවලදී ගොඩක් ශක්තිමත් කණ්ඩායමක්. තරගයක් ලෙසින් අපි ලබාගත් ප්‍රතිඵලය ගැන සතුටු නොවුණත්, අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා රාශියක් තිබෙනවා. ඒ අතර ෂෙහාන් හා දසුන්ගේ පිතිහරඹය හා වනිඳු හසරංගගේ පන්දු යැවීම විශේයි.

හෙට ආරම්භ වන විස්සයි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳවද මෙහිදී ධනුෂ්කගෙන් විමසීය.

" විස්සයි20 තරගාවලිය සඳහාත් අපි  සුදානමින් ඉන්නවා. නමුත් ඒ තරගාවලියේදී  වෙනස්කම් කිහිපයක් සිදුකරන්න
බලාපොරොත්තු වෙනවා. මේ ඉන්න ක්‍රීඩකයන් ගොඩක් දක්ෂයි. විස්සයි 20 තරගවලටත් මෙම කණ්ඩායම විශේෂයි. ඒ අතර විස්සයි 20 තරහවලට අපිට ගැළපෙන විශේෂ ක්‍රීඩකයන්ද ඉන්නවා. ඔවුන් සමග හොඳ තරගයක් ලබාදෙන්න හැකි වේවි.‍

දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් සංචිතයට ඇතුළත් වුණාත්, නැවතත් පාකිස්තානයට එනවාදැයි මෙහිදී ධනුෂ්ක ගන් විමසූ අතර, ඔහු ඒ පිළිබඳව මෙසේ පැවසීය.
"මම ආවේ එක්දින තරගාවලියට. මට ටෙස්ට් කණ්ඩායමත් එක්ක එන්න පුඵවන්ද කියන එක මට කියන්න බැහැ."

පාකිස්තානු සංචාරයත්, ඔවුන් ලැබුණු ආගන්තුක සත්කාරත් ගැන සතුටුවන ධනුෂ්ක,
"පාකිස්තානයේ ආගන්තුක සත්කාර ඉතාම ඉහළයි. විශේෂයෙන් ආරක්ෂාව. ඒ වගේම හෝටල් කාර්යමණ්ඩලය පවා මේ දක්වා ගොඩක් හොදින් සැලකුවා. ඒ වගේම මෙම තරගාවලිය හරහා බාබර් අසම්ට පාකිස්තානයේදී පළමු වරට ශතකයක් වාර්තා කරන්නත් අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාව වසර දහයකින් පාකිස්තානයේ අත්තර්ජාතික තරගයකට සහභාගි වෙලා නැහැ. ඒ නිසා මම පාකිස්තානයට ඇවිල්ලා ශතකයක් වාර්තා කරපු එක ගැන ඇත්තටම සතුටුයි",

විශ්ව  මුදියන්සේ